එස්තර් 1

1
ප්‍රිය සාදය හා වෂ්තී බිසව
1අහෂ්වේරොෂ් රජුගේ දවස්හි, එනම් ඉන්දියාවේ සිට කූෂ් දේශය දක්වා පැතිරුණු ප්‍රාන්ත එකසිය විසිහතක් පාලනය කළ අහෂ්වේරොෂ් රාජ සමයේ 2අහෂ්වේරොෂ් රජු, බළකොටු නුවර වූ ෂූෂන්හි#1:2 ෂූෂන්හි ග්‍රීක් සූසාහි තම සිංහාසනයේ හිඳ, රජකම් කරමින්, 3ඔහුගේ පාලන සමයේ තෙවන වසරේ ඔහු තමාගේ සියලු අධිපතීන්ට හා නිලධාරීන්ට ප්‍රිය සාදයක් පැවැත්වී ය. පර්සියාවේ හා මේදියාවේ හමුදා නායකයෝ ද වංශාධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරවරු ද ඔහු ඉදිරියේ වූහ.
4බොහෝ දවසක්, පුරා එකසිය අසූ දවසක් ඔහු තම රාජකීය තේජසේ ධන සම්පත්තියත්, තම රාජශ්‍රීයේ අලංකාරය හා විභූතියත් ප්‍රදර්ශන කළේ ය. 5ඒ දවස් සම්පූර්ණ වූ පසු, ෂූෂන් බළකොටුවේ සිටි ලොකු කුඩා හැම දෙනාට රජ මැදුර වටා වූ උයනේ හත් දවසක් පුරා, ප්‍රිය සාදයක් පැවැත්වී ය. 6රජ උයනේ, සුදු හා නිල් පැහැ හණ රෙදි තිර, සුදු පැහැ හණ පටියෙන් හා දම් පැහැ පීත්ත පටියෙන් බැඳ, රිදී මුදුවල සවි කොට, කිරිගරුඬ කුලුනුවල එල්ලා තිබිණි. වෛවර්ණ ගරුඬ, කිරිගරුඬ, මුතු හා මැණික් ගලින් කරන ලද පාදිකාවක් මත, රන් කවිච්චි හා රිදී කවිච්චි විණි. 7මිදි යුෂ පිළිගන්වන ලද්දේ රන් කුසලානවලිනි. එකකට එකක් වෙනස් වූ කුසලානවලිනි. රජුගේ ත්‍යාගවත්කමට සරිලන සේ රාජකීය මිදි යුෂ ඕනෑ තරම් තිබිණි. 8රාජ නියෝගය පරිදි හැම කෙනකුට ම, සිය කැමැත්ත ලෙස බීම ගැනීමට ඉඩ හරින ලදී. හැම කෙනකුට ම ඒ ඒ අයගේ මනාපය පරිදි බීම පිළිගන්වන්නැයි මිදි යුෂ බාරකරුවනට රජු උපදෙස් දී තිබිණි.
9වෂ්තී බිසව ද අහෂ්වේරොෂ් රජුගේ මාලිගයේදී කාන්තාවන් සඳහා ප්‍රිය සාදයක් පැවැත්වූවා ය.
10හත් වන දවසේ රජු මිදි යුෂ පානයෙන් ප්‍රමුදිත ව සිටියදී, රජු ඉදිරියේ මෙහෙවර කළ මෙහූමාන්, බිස්සෙතා, හර්බෝනා, බිග්තා, අබග්තා, සේතර් හා කර්කස් යන නපුංසක නිලධාරීන් හත් දෙනාට නියෝග කළ අහෂ්වේරොෂ් රජු, 11වෂ්තී බිසව ඇගේ රාජකීය ඔටුන්න පලඳා, තමන් ඉදිරියට කැඳවා එන ලෙස අණ කළේ, බලන්නට ලස්සන ඇගේ රූ සිරි ජනතාවටත්, අධිපතීන්ටත් පෙන්වන පිණිස ය. 12එහෙත් රාජ නපුංසකයින් රජුගේ නියෝගය දැන් වූ කල, වෂ්තී බිසව පැමිණීම ප්‍රතික්ෂේප කළා ය. එවිට රජු කෝපයෙන් වියරුව, තරහින් ඇවුළුණේ ය.
13නීතිය හා විනිශ්චය පිළිබඳ කරුණුවලදී විශාරද උපදෙස් විමසීම රජුගේ සිරිත වූ බැවින් රජු කාලයන් දන්නා ප්‍රාඥයින් විමසී ය. 14රජුට වඩාත් සමීප වූත්, රජුගේ මුහුණ දැකීමේ අවසරය ලත් රාජ්‍යයේ මුලින් ම අසුන් ගන්නන් වූත්, පර්සියා හා මේදියා අධිපතීන් හත්දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සෙනා හා මෙමූකාන් ඇමතූ රජු,
15“නීතියට අනුව වෂ්තී බිසවට කළ යුත්තේ කුමක් ද? නපුංසක නිලධාරීන් විසින් ඇය වෙත ගෙන යන ලද අහෂ්වේරොෂ් රජුගේ නියෝගයට ඇය අකීකරු වී ඇතැ” යි කීවේ ය.
16එවිට රජු ද අධිපතීන් ද ඉදිරියෙහි පිළිතුරු දුන් මෙමූකාන්, “වෂ්තී බිසව වරද කර ඇත්තේ, රජුට එරෙහිව පමණක් නො වේ; සියලු අධිපතීන්ටත්, අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රාන්තයන්හි ජනතාවටත් එරෙහිවයි. 17මන්ද බිසවගේ හැසිරීම කාන්තාවන් හැමට දැනගන්නට ලැබුණු විට, ඔවුන් තම සැමියනට ගර්හා කොට, ‘අහෂ්වේරොෂ් රජු තමන් ඉදිරියට වෂ්තී බිසව පමුණු වන්නට අණ දුන් නමුත්, ඈ පැමිණියේ නැතැ’ යි කියනු ඇත. 18බිසවගේ හැසිරීම ගැන අසන පර්සියාවේ හා මේදියාවේ කුල කාන්තාවන්, මේ අද දවසේ ම රජුගේ අධිපතීන්ටත් ඒ අයුරින් ම ප්‍රතිචාර දක්වනු ඇත. මේ ගරු සරු නැතිකමේත්, විරෝධයේත් නිමක් නො වනු ඇත.
19“එබැවින් රජු මනාප වේ නම්, එතුමන් වෙතින් රාජ නියෝගයක් නිකුත් වෙත්වා. වෂ්තීට යළි කිසි දිනෙක අහෂ්වේරොෂ් රජු හමුවට පිවිසිය නො හැකි ය යන ඒ නියෝගය වෙනස් කළ නො හැකි සේ, එය පර්සියා හා මේදියා නීතියෙහි ලේඛනගත කෙරෙත්වා. තවද ඇගේ රාජකීය පදවිය, ඇයට වඩා සුදුසු තැනැත්තියකට රජු විසින් දෙනු ලැබේවා. 20මෙසේ මේ රාජ නියෝගය රජුගේ මේ මහා විශාල රාජධානිය පුරා ප්‍රකාශයට පත් කළ කල්හි, සියලු ම භාර්යාවන් උසස්, පහත් දෙගොල්ල ම තම සැමියනට ගෞරව කරනු ඇතැ” යි කීවේ ය.
21මෙම උපදෙස රජුට හා අධිපතීන්ට ප්‍රසන්න වූයෙන්, රජු මෙමූකාන්ගේ යෝජනාව පරිදි කටයුතු කළේ ය. 22ඔහු රාජකීය සියලු ප්‍රාන්ත වෙත සන්දේශ යවමින්, හැම පිරිමියෙක් ම ඔහුගේ ගෘහවාසීනට ගෘහපති විය යුතු යැයි ඒ ඒ ජනයාගේ මව් බසින් නිවේදන කරවමින්, එක් එක් ප්‍රාන්තයට ඒ ඒ ප්‍රාන්තයට පොදු අකුරින් හා එක් එක් ජනතාවට ඔවුන්ගේ ම භාෂාවෙන් දන්වා යැවී ය.

දැනට තෝරාගෙන ඇත:

එස්තර් 1: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න