එස්තර් 1:1-8

එස්තර් 1:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අහෂ්වේරොෂ් රජුගේ දවස්හි, එනම් ඉන්දියාවේ සිට කූෂ් දේශය දක්වා පැතිරුණු ප්‍රාන්ත එකසිය විසිහතක් පාලනය කළ අහෂ්වේරොෂ් රාජ සමයේ අහෂ්වේරොෂ් රජු, බළකොටු නුවර වූ ෂූෂන්හි තම සිංහාසනයේ හිඳ, රජකම් කරමින්, ඔහුගේ පාලන සමයේ තෙවන වසරේ ඔහු තමාගේ සියලු අධිපතීන්ට හා නිලධාරීන්ට ප්‍රිය සාදයක් පැවැත්වී ය. පර්සියාවේ හා මේදියාවේ හමුදා නායකයෝ ද වංශාධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරවරු ද ඔහු ඉදිරියේ වූහ. බොහෝ දවසක්, පුරා එකසිය අසූ දවසක් ඔහු තම රාජකීය තේජසේ ධන සම්පත්තියත්, තම රාජශ්‍රීයේ අලංකාරය හා විභූතියත් ප්‍රදර්ශන කළේ ය. ඒ දවස් සම්පූර්ණ වූ පසු, ෂූෂන් බළකොටුවේ සිටි ලොකු කුඩා හැම දෙනාට රජ මැදුර වටා වූ උයනේ හත් දවසක් පුරා, ප්‍රිය සාදයක් පැවැත්වී ය. රජ උයනේ, සුදු හා නිල් පැහැ හණ රෙදි තිර, සුදු පැහැ හණ පටියෙන් හා දම් පැහැ පීත්ත පටියෙන් බැඳ, රිදී මුදුවල සවි කොට, කිරිගරුඬ කුලුනුවල එල්ලා තිබිණි. වෛවර්ණ ගරුඬ, කිරිගරුඬ, මුතු හා මැණික් ගලින් කරන ලද පාදිකාවක් මත, රන් කවිච්චි හා රිදී කවිච්චි විණි. මිදි යුෂ පිළිගන්වන ලද්දේ රන් කුසලානවලිනි. එකකට එකක් වෙනස් වූ කුසලානවලිනි. රජුගේ ත්‍යාගවත්කමට සරිලන සේ රාජකීය මිදි යුෂ ඕනෑ තරම් තිබිණි. රාජ නියෝගය පරිදි හැම කෙනකුට ම, සිය කැමැත්ත ලෙස බීම ගැනීමට ඉඩ හරින ලදී. හැම කෙනකුට ම ඒ ඒ අයගේ මනාපය පරිදි බීම පිළිගන්වන්නැයි මිදි යුෂ බාරකරුවනට රජු උපදෙස් දී තිබිණි.

එස්තර් 1:1-8 Sinhala Revised Old Version (SROV)

තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය. අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේ ඔහු ෂූෂන් බලකොටුවේ තිබුණ තමාගේ රාජ්‍යයේ සිංහාසනයෙහි වැඩහුන් දවස්වලදී, තමාගේ සියලු අධිපතීන්ද සේවකයන්ද වන පාර්සියාවේ සහ මේදියාවේ සේනාධිපතීන්ටද රටවල උත්තමයන්ටද අධිපතීන්ටද තමා ඉදිරියෙහි මංගල්‍ය කෑමක් දුන්නේය. එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ උතුම් වස්තුද තමාගේ මහිමශ්‍රීයේ අනර්ඝතාවද බොහෝ දවස් එනම් දවස් එකසිය අසූවක් පෙන්නුවේය. ඒ දවස් පසුවුණ විට රජතෙමේ ෂූෂන් බලකොටුවේ සිටි ලොකු කුඩා සියලු සෙනඟට රජමාලිගාවේ උයනේ මළුවෙහි සත් දවසක් මංගල්‍ය කෑමක් දුන්නේය. එහි සුදු පාටද කොළ පාටද නිල් පාටද ඇති තිර සිහින් හණ ලනුවලිනුත් රත්නිල් ලනුවලිනුත් රිදී මුදුවලින් සුදුගල් කුළුනුවලට බැඳ තිබුණේය. රතු සුදු කහ කළු යන පාට ඇති ගල් අල්ලාපු බිමක් පිට රන් රිදී යහන් වූහ. බොන්ට දුන්නේ රන් කුසලාන්වලින්ය. කුසලාන්ද එකිනෙකට වෙනස්ව තිබුණේය. රාජ මුද්‍රිකපානය රජුගේ ත්‍යාගවත්කම ලෙස බොහෝසෙයින්ම තිබුණේය. බොන්ට යෙදුණේ නියෝගය ලෙසය; කිසිවෙකුට බලාත්කාරකළේ නැත. මක්නිසාද එක එක මනුෂ්‍යයාගේ ප්‍රසන්නකමේ හැටියට කරන ලෙස රජු විසින් තමාගේ ගෙයි සියලු මුලාදෑනීන්ට නියමකර තිබුණේය.

එස්තර් 1:1-8 Sinhala New Revised Version (NRSV)

ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා රටවල් එකසිය විසිහතක රජකම් කළ අහෂ්වේරොෂ්ගේ දවස්වල දී සිදු වූ සිදුවීම් මෙහි විස්තර කර ඇත. ඒ කාලයේ දී ඔහු සූසා නම් අගනුවර සිංහාසනාරූඪ ව සිටියේ ය. අහෂ්වේරොෂ් රජුගේ රාජ්‍ය සමයේ තුන් වන අවුරුද්දේ දී ඔහු තමාගේ සියලු අධිපතීන්ට ද විධායකයින්ට ද මංගල භෝජනයකින් සංග්‍රහ කෙළේ ය. පර්සියාවේ හා මේදියාවේ හමුදාවල අධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයෝ හා ප්‍රභූවරයෝ ද ඒ අවස්ථාවේ දී පැමිණ සිටියහ. එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ යස ඉසුර ද තමාගේ මහිමශ්‍රීයේ තේජස හා අලංකාරය ද බොහෝ දවස් එනම්, දවස් එකසිය අසූවක් මුළුල්ලේ ප්‍රදර්ශනය කෙළේ ය. මේ කාලය අවසන් වූ විට රජ තෙමේ සූසා නම් අගනුවර සිටි ලොකු කුඩා සියලු දෙනාට රාජ මාලිගා උයනේ වූ මළුවෙහි සත් දවසක් මුළුල්ලේ මංගල්‍ය භෝජනයක් දුන්නේ ය. එහි සුදු හා දම් පාට තිර, සිහින් හණ ලණුවලිනුත්, රත්නිල් ලණුවලිනුත්, රිදී මුදුවලට සවි කර, කිරිගරුඬ කුළුණුවලට බැඳ තිබිණි. එහි රතු, සුදු, කහ, කළු යන පාට ඇති මැණික් ගල් අල්ලන ලද බිමක් මත රන් රිදී යහන් විය. ඔවුන්ට බොන්න දුන්නේ රන් කුසලාන්වලින් ය. කුසලාන් ද එකිනෙකට වෙනස් විය. රජුගේ ත්‍යාගවන්තකමට සරිලන ලෙස රාජකීය මුද්‍රික පානය බොහෝ සෙයින් තිබිණි. කිසිවෙකුට බල නොකළ යුතු ය යනු බීම සම්බන්ධයෙන් වූ නියෝගය වේ. එකිනෙකාගේ කැමැත්ත පරිදි කරන ලෙස රජු තමාගේ මාලිගාවේ සියලු මුලාදෑනීන්ට නියම කර තිබුණේ ය.