එස්තර් 1:1-8

එස්තර් 1:1-8 NRSV

ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා රටවල් එකසිය විසිහතක රජකම් කළ අහෂ්වේරොෂ්ගේ දවස්වල දී සිදු වූ සිදුවීම් මෙහි විස්තර කර ඇත. ඒ කාලයේ දී ඔහු සූසා නම් අගනුවර සිංහාසනාරූඪ ව සිටියේ ය. අහෂ්වේරොෂ් රජුගේ රාජ්‍ය සමයේ තුන් වන අවුරුද්දේ දී ඔහු තමාගේ සියලු අධිපතීන්ට ද විධායකයින්ට ද මංගල භෝජනයකින් සංග්‍රහ කෙළේ ය. පර්සියාවේ හා මේදියාවේ හමුදාවල අධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයෝ හා ප්‍රභූවරයෝ ද ඒ අවස්ථාවේ දී පැමිණ සිටියහ. එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ යස ඉසුර ද තමාගේ මහිමශ්‍රීයේ තේජස හා අලංකාරය ද බොහෝ දවස් එනම්, දවස් එකසිය අසූවක් මුළුල්ලේ ප්‍රදර්ශනය කෙළේ ය. මේ කාලය අවසන් වූ විට රජ තෙමේ සූසා නම් අගනුවර සිටි ලොකු කුඩා සියලු දෙනාට රාජ මාලිගා උයනේ වූ මළුවෙහි සත් දවසක් මුළුල්ලේ මංගල්‍ය භෝජනයක් දුන්නේ ය. එහි සුදු හා දම් පාට තිර, සිහින් හණ ලණුවලිනුත්, රත්නිල් ලණුවලිනුත්, රිදී මුදුවලට සවි කර, කිරිගරුඬ කුළුණුවලට බැඳ තිබිණි. එහි රතු, සුදු, කහ, කළු යන පාට ඇති මැණික් ගල් අල්ලන ලද බිමක් මත රන් රිදී යහන් විය. ඔවුන්ට බොන්න දුන්නේ රන් කුසලාන්වලින් ය. කුසලාන් ද එකිනෙකට වෙනස් විය. රජුගේ ත්‍යාගවන්තකමට සරිලන ලෙස රාජකීය මුද්‍රික පානය බොහෝ සෙයින් තිබිණි. කිසිවෙකුට බල නොකළ යුතු ය යනු බීම සම්බන්ධයෙන් වූ නියෝගය වේ. එකිනෙකාගේ කැමැත්ත පරිදි කරන ලෙස රජු තමාගේ මාලිගාවේ සියලු මුලාදෑනීන්ට නියම කර තිබුණේ ය.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 1:1-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය