දානියෙල් 4:1-26

දානියෙල් 4:1-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)

නෙබුකද්නෙසර් රජු වෙතින්, සියලු ජනයින් ද ජාතීන් ද භාෂාවන් ද යන මුළු පොළොවේ ම වෙසෙන්නන් වෙතයි; වඩ වඩා ඔබට සෙත් වේවා! මහෝත්තම දෙවියන්වහන්සේ මා උදෙසා සිදු කළ අනුහස් ලකුණු හා පුදුම පිළිබඳව ඔබට පැවසීම සතුටකි. උන්වහන්සේගේ ලකුණු, කෙතරම් උතුම් ද! උන්වහන්සේගේ හාස්කම් කෙතරම් බලවත් ද! උන්වහන්සේගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි. උන්වහන්සේගේ ආධිපත්‍යය, පරපුරින් පරපුරට පවතී. නෙබුකද්නෙසර් වන මම, මගේ මාලිගයේ සැනසී, සඵලවත් ව සිටියෙමි. මා භයගැන් වූ සිහිනයක් මම දැක්කෙමි. මගේ යහනේ මා සැතපී සිටියදී මගේ මනසේ ඇඳුණු රූප හා දර්ශන මා තැති ගැන්වී ය. එබැවින් එම සිහිනයේ අරුත මට පහදා දෙන පිණිස, බබිලෝනියේ සියලු ප්‍රාඥයින් මා ඉදිරියට පමුණු වන ලෙස මම අණ කළෙමි. මෙසේ ඉන්ද්‍රජාලිකයින් ද මන්ත්‍රකරුවන් ද කල්දිවරුන් ද නක්ෂත්‍රඥයින් ද පැමිණි කල, මම ඔවුනට සිහිනය කීවෙමි. එහෙත් එහි අරුත මට පහදා දීමට ඔවුහු අපොහොසත් වූහ. අන්තිමේදී දානියෙල් මා ඉදිරියට ආවේ ය. මම සිහිනය ඔහුට කීවෙමි. මගේ දෙවියන්ගේ නාමය ලෙස, බේල්ටෙෂසර් නමින් හඳුන්වන ලද මොහු තුළ ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් වෙසෙයි. මම ඔහු අමතමින්, “ඉන්ද්‍රජාලිකයින්ගේ ප්‍රධානී, බේල්ටෙෂසර්, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් ඔබ තුළ වැඩ වෙසෙන වගත්, කිසි අභිරහසක් ඔබට අසීරු නො වන වගත් දනිමි. මා දුටු සිහිනයේ දර්ශන මේවායි. එහි අරුත් මට පහදා දෙන්න. මගේ යහනේ මා සැතපී සිටියදී මා දුටු දර්ශන මේවායි: මා බැලූ කල මෙන්න! මා ඉදිරියෙහි පොළොව මැද ගහක්; මහ උස ගහක්. ඒ ගහ විශාල ව වැඩී, ශක්තිමත් ව, එහි මුදුන ස්වර්ගයට ළඟා විණි. පොළොවේ සීමා අන්ත දක්වා ම එය දැකිය හැකි විණි. එහි කොළ අලංකාර විය. පල බහුල විය. සැමට ම ආහාර එහි තිබිණ. වන සත්තු ගහ යට සෙවණ ලදහ. අහස් පක්ෂීහු එහි අතුවල විසූහ. මාංශමය වූ සියල්ලෝ එයින් පෝෂණය ලදහ. “මගේ යහනේ සැතපී සිටිමින්, මා දුටු දර්ශනවල මා බලා සිටියදී මෙන්න! මා ඉදිරියේ මුරකරුවෙක්; ස්වර්ගයෙන් බැස එන ශුද්ධ කෙනෙක්. උස් හඬ නගා මොර ගැසූ ඔහු, ‘මේ ගහ කපා හෙළනු; එහි අතු රැහැ දමනු; එහි කොළ ගලවා, එහි පල විසුරුවනු; එහි සෙවණ යටින් වන සත්තු ද එහි අතු වෙතින් පක්ෂීහු ද පලා යත්වා! එහෙත් මුල් සහිත කඳ කොටස, යකඩ හා ලෝකඩ පට්ටමකින් බැඳ, වනයේ තෘණ අතරේ පසෙහි ම තියෙන්නට හරිනු. “ ‘ඔහු අහසේ පින්නෙන් තෙමේවා; ඔහුගේ පංගු කොටස පොළොවේ තෘණ අතරේ වන මෘගයින් සමඟ වේවා. ඔහුගේ මිනිස් මනස වෙනස් කරනු ලැබ, සතකුගේ මනසක් ඔහුට දෙනු ලැබේවා. මෙසේ කාල හතක් ඔහු සම්බන්ධ ව ගෙවී ගියා වේ. “ ‘මෙම තීරණය මුරකරුවන් විසින් නිවේදන කරනු ලැබේ. ශුද්ධවතුන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ, මානව රාජධානිවලට ඉහළින් මහෝත්තමයාණන් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවරකුට වුව ඒවා දෙන වගත්, මිනිසුන් අතරේ ඉතාම පහත් කෙනකු ඒවාට පත් කරන වග ජීවත් ව සිටින්නන් දැනගන්නා පිණිස යැ’ යි පැවසී ය. “මෙම සිහිනය නෙබුකද්නෙසර් රජු වන මා දුටු එකයි. එම්බා බේල්ටෙෂසර්, දැන් ඔබ එහි අරුත මට කියා දෙන්න. මන්ද මට මෙහි අරුත පහදා දීමට මගේ රාජ්‍යයේ කිසිදු ප්‍රාඥයකුට පුළුවන් වුණේ නැහැ; එහෙත් ඔබට පුළුවන. මන්ද ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඔබ තුළ ඇතැ” යි පැවසී ය. බේල්ටෙෂසර් නමින් හැඳින් වූ දානියෙල් මොහොතකට බෙහෙවින් වියවුල් විය. ඔහුගේ සිතුවිලි ඔහු තැති ගැන්වී ය. එබැවින් රජු ඔහු අමතමින්, “බෙල්ටෙෂසාර්, ඒ සිහිනයට හෝ එහි අරුතට හෝ ඔබ භය ගන්වන්නට ඉඩ නො දෙන්නැ” යි කීවේ ය. බේල්ටෙෂසර් පිළිතුරු දෙමින්, “මා ස්වාමිනි, ඒ සිහිනය ඔබේ සතුරන්ටත්, එහි අර්ථය ඔබේ එදිරිවාදීන්ටත් පමණක් අදාළ වූවා නම් යෙහෙකි! විශාල ව වැඩී ශක්තිමත් වූ, එහි මුඳුන ස්වර්ගයට ළඟා වූ මුළු පොළෝ කෙළවරට ම පෙනුණු, ඔබ දුටු ඒ ගහ, අලංකාර කොළත්, බහුල ව වූ පලත් සහිත ව සෑම සියල්ලන්ට ම ආහාර සැපයූ, වන සතුනට සෙවණ දුන්, අහස් පක්ෂීන් එහි අතුවල ජීවත් වූ ගස, අහෝ රජතුමනි, ඒ ඔබයි! ඔබ ශ්‍රේෂ්ඨ ව, බලවත් ව සිටී. ඔබේ ශ්‍රේෂ්ඨත්වය අහස උසට ම ළඟා වෙලා. ඔබගේ ආධිපත්‍යය පොළොවේ දුර බැහැර පෙදෙස් දක්වා ම පැතිර ගිහින්. “අහෝ රජතුමනි, ස්වර්ගයෙන් බැස එන ශුද්ධ කෙනකු වූ මුරකරුවකු මෙසේ කියනු ඔබ දුටුවා. ‘මේ ගස කපා දමනු; එය විනාශ කරනු. එහෙත් ගස මුල ඉතිරි කඳ කොටස එහි මුල් පසෙහි තිබියදී යකඩ හා ලෝකඩ පට්ටමකින් බැඳ, වනයේ තෘණ අතරේ තිබෙන්නට හරිනු. ඔහු අහසේ පින්නෙන් තෙමේවා! ඔහුගේ පංගු කොටස කාල හතක් පසු වන තෙක් වනයේ වන මෘගයින් අතර ඔහු වෙසේවා!’ “අහෝ රජතුමනි, එහි අරුත මෙයයි: මගේ ස්වාමියා වූ රජුට එරෙහිව මහෝත්තමයාණන් නිකුත් කොට ඇති නියමයයි මේ. මිනිසුන් වෙතින් ඔබ පලවා හරිනු ලැබ, වන මෘගයින් සමඟ ජීවත් වනු ඇත. ගවයකු මෙන් ඔබ තණ කනු ඇත. අහස් පින්නෙන් ඔබ තෙමෙනු ඇත. මහෝත්තමයාණන් මිනිසුන්ගේ රාජධානිවලට ඉහළින් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවර කෙනකුට වුව ඒවා දෙන වගත් ඔබ ඒත්තු ගන්නා තුරු, කාල හතක් ඔබ එසේ ගත කරනු ඇත. ගසේ කඳ කොටස එහි මුල් සහිත ව තිබෙන්නට හැරීමේ ආඥාවේ අරුත, ස්වර්ගය පාලනය ඔබ ඒත්තු ගත් පසු, ඔබගේ රාජ්‍යයෙහි යළි ඔබ පිහිටුවනු ලබන බවයි.

දානියෙල් 4:1-26 Sinhala Revised Old Version (SROV)

නෙබුකද්නෙශර් රජු විසින් මුළු පොළොවේ වාසයකරන සකල ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා එවන වගනම්: නුඹලාට සමාදානය වැඩිවේවා. මහෝත්තම දෙවියන්වහන්සේ මා උදෙසා කළ ලකුණු සහ ආශ්චර්යයන් දන්වන්ට ප්‍රසන්නව සිටිමි. උන්වහන්සේගේ ලකුණු කොපමණ මහත්ද! උන්වහන්සේගේ ආශ්චර්යයෝ කොපමණ බලවත්ද! උන්වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, උන්වහන්සේගේ ආණ්ඩුව පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේය. නෙබුකද්නෙශර් වන මම මාගේ නිවසෙහි සුවසේද මාගේ මාළිගාවෙහි සැපතින්ද සිටියදී, මට භය ඉපදෙවූ ස්වප්නයක් දුටුවෙමි; මාගේ යහනේදී පැමුණුණු මාගේ සිතිවිලිද මාගේ හිසේ දර්ශනද මා කැලඹුවේය. එවිට ස්වප්නයේ අර්ථය මට දන්වන පිණිස බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මා ඉදිරියට පමුණුවන්ට ආඥාකෙළෙමි. එකල මන්ත්‍රකාරයෝද අනවිනකාරයෝද කල්දිවරුද පේනකියන්නෝද ආවෝය. මම ඔවුන් ඉදිරියෙහි ස්වප්නය කීවෙමි; එහෙත් එහි අර්ථය ඔවුන් මට පෙන්වාදුන්නේ නැත. අන්තිමේදී මාගේ දෙවියන්ගේ නාමය ලෙස බේල්ටෙෂශර් නම්වූ, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇත්තාවූ දානියෙල් මා ඉදිරියට ආයේය. මම ඔහු ඉදිරියෙහි ස්වප්නය මෙසේ කීවෙමි: මායාකාරයන්ගේ ප්‍රධානියාවූ බේල්ටෙෂශර්, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන බවත් කිසි රහසක් විසඳීම නුඹට අමාරු නොවන බවත් දනිමි, එබැවින් මා දුටු ස්වප්නයේ දර්ශනද එහි අර්ථයද මට කියන්න. මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන මෙසේය–බොහෝ උස ඇති ගහක් පොළොව මැද තිබෙනවා දුටිමි. ඒ ගස වැඩී, ශක්තිමත්ව තිබුණේය, ඒකේ උස අහස දක්වා විය, ඒක මුළු පොළොවේ කෙළවරට පෙනුණේය. එහි කොළ ශෝභනව, එහි ඵල බොහෝව තිබුණේය, එය තුළ සියල්ලන්ට ආහාර තිබුණේය. ඒක යට වනයේ මෘගයන්ට සෙවණ තිබුණේය, ඒකේ අතුවල ආකාශ පක්ෂියෝ ලැග්ගෝය, සියලු සත්වයන්ට එයින් කෑම ලැබුණේය. මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන වලදී මා බලාඉන්න අතර, ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස්සේය. ඔහු මොරගා කෑගසමින්: ගහ කපාදමන්න, ඒකේ අතුත් කපාදමා, ඒකේ කොළ සොලවාදමා, ඒකේ ඵල විසුරුවන්න. මෘගයෝ ඒක යටින්ද පක්ෂීහු ඒකේ අතුවලින්ද අහක්ව යත්වා. එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහුගේ කොටස මෘගයන් සමඟ පොළොවේ තණකොළ අතරේ වේවා. ඔහුගේ සිත මනුෂ්‍ය සිතක් නොවන හැටියට වෙනස්වී, මෘග සිතක් ඔහුට ලැබී, එසේ ඔහු කාලවල් සතක් පසුකෙරේවා. මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමැති කෙනෙකුට ඒක දී, මනුෂ්‍යයන්ගෙන් නීචයෙකු නුමුත් එය කෙරෙහි පත්කරන බව ජීවත්ව සිටින අය දැනගන්න පිණිස, මේ තීන්දුව රැකවලුන්ගේ නියමයෙන්ද මේ ආඥාව ශුද්ධ තැනත්තන්ගේ වචනයෙන්ද වන්නේයයි කීවේය. මේ ස්වප්නය නෙබුකද්නෙශර් රජ වන මම දුටිමි. බේල්ටෙෂශර්, නුඹ අර්ථය කියන්න, මක්නිසාද මට අර්ථය දන්වන්ට මාගේ රාජ්‍යයේ සියලු ශාස්ත්‍රවන්තයන්ට බැරිය; නුමුත් ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන නිසා නුඹට නම් පුළුවන. එකල බේල්ටෙෂශර් නම්වූ දානියෙල් මොහොතක් පමණ විස්මපත්ව හිඳ, තමාගේ සිතිවිලි නිසා කැලඹුණේය. රජ කථාකොට: බේල්ටෙෂශර්, නුඹ ස්වප්නය ගැනවත් එහි අර්ථය ගැනවත් නොකැලඹෙන්නැයි කීවේය. බේල්ටෙෂශර් උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, ඒ ස්වප්නය ඔබට වෛරවෙන්නන්ටත් එහි අර්ථය ඔබගේ සතුරන්ටත් වේවා. රජ්ජුරුවෙනි, ඔබ දුටුවාවූ, වැඩී ශක්තිමත්වී අහස දක්වා උස්ව තිබුණාවූ, මුළු පොළොවට පෙනුණාවූ, ශෝභන කොළද බොහෝ ඵලද සියල්ලන්ට කෑමද තිබුණාවූ, වනයේ මෘගයන් වාසයකළාවූ, ආකාශ පක්ෂීන් ලැග්ගාවූ ගස නම්, මහත්ව බලවත්ව සිටින ඔබමය. ඔබගේ මහත්කමද වැඩී තිබේ, එය අහස දක්වාත් ඔබගේ ආණ්ඩුව පොළොවේ කෙළවර දක්වාත් ඇත්තේය. තවද ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස කථාකොට: ගහ කපාදමා විනාශකරන්න; එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහු කාලවල් සතක් පසුකරන තුරු ඔහුගේ කොටස වනයේ මෘගයන් සමඟ වේවායි කියනවා රජ දුටු බැවින්, රජ්ජුරුවෙනි, අර්ථය මෙසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට පැමිණී තිබෙන මහෝත්තමයාණන්ගේ නියමයද මෙසේය: ඔබ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, ඔබගේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය, ගවයන්ට මෙන් ඔබට තෘණ කවනු ලබන්නේය, ඔබ අහසේ පින්නෙන් තෙමෙන්නෙහිය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, කැමැති කෙනෙකුට ඒක දෙන බව ඔබ දැනගන්න තුරු, ඔබ කාලවල් සතක් පසුකරනවා ඇත. ඇරත් ගසේ මුල්වල කොටස ඉතිරිකරන්ට අණකළ බැවින්, ස්වර්ගය විසින් බලය පවත්වන බව ඔබ දැනගත් පසු, ඔබගේ රාජ්‍යය ඔබට ස්ථිරවන්නේය.

දානියෙල් 4:1-26 Sinhala New Revised Version (NRSV)

නෙබුකද්නෙශර් රජ මුළු ලොවේ වාසය කරන සකල ජනයන් හටත්, ජාතීන් හටත්, ඒ ඒ භාෂාවන් කතා කරන සියල්ලන් හටත් මෙසේ නිවේදනය කෙළේ ය: “ඔබට සාමදානය වේ වා! මහෝත්තම දෙවියන් වහන්සේ මා උදෙසා කළ හාස්කම් ද අරුමපුදුම දේ ද ඔබට දැන්වීම මැනව යි මට පෙනිණි. උන් වහන්සේ දැක් වූ හාස්කම් කොපමණ මහත් ද? උන් වහන්සේ කළ අරුමපුදුම දේ කොපමණ බලවත් ද? උන් වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක් ය. උන් වහන්සේගේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේ ය. “නෙබුකද්නෙශර් වන මම මාගේ මාලිගාවේ සැපසම්පත් භුක්ති විඳිමින් සුව සේ සිටියෙමි. එසේ සිටිය දී මා තැති ගැන්වූ ස්වප්නයක් දුටුවෙමි. මා යහනේ සිටිය දී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුණු දර්ශන මා බිය ගැන්වී ය. ස්වප්නයේ තේරුම මට දන්වන පිණිස බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මා ඉදිරියට පමුණුවන හැටියට මම අණ කෙළෙමි. එවිට මන්ත්‍රකාරයෝ ද අනවිනකාරයෝ ද දෛවඥයෝ ද පේන කියන්නෝ ද මා වෙත ආවෝ ය. මම ඔවුන් ඉදිරියේ මා දුටු ස්වප්නය කීවෙමි. එහෙත්, ඔවුන්ට එහි තේරුම මට කියා දෙන්නට නොහැකි විය. අන්තිමේ දී මාගේ දෙවියන්ගේ නාමය අනුව ‘බෙල්ටෙෂෙසර්’ කියා නම් කරන ලද දේවාත්මානුභාවය ඇති දානියෙල් මා ඉදිරියට ආවේ ය. දුටු ස්වප්නය මම ඔහුට කීවෙමි: මන්ත්‍රකාරයන්ගේ ප්‍රධානියා වන බෙල්ටෙෂෙසර්, ඔබට දේවාත්මානුභාවය ඇති බවත් කිසි අබිරහසක් විසඳීම ඔබට දුෂ්කර කාර්යයක් නොවන බවත් මම දනිමි. මා දුටු ස්වප්නය මෙය වේ. එහි තේරුම මට පහදා දෙන්න. “මා යහනේ සිටිය දී මාගේ හිසට නැඟුණු දර්ශනය මෙය වේ. ඉතා උස ගහක් පොළොව මැද තිබෙනු මම දිටිමි. ඒ ගස වැවී ශක්තිමත් වී, කරටිය අහසේ උසට යන තෙක් වැඩුණේ ය. පොළොවේ සතර දිග් භාගයට ඒ ගස පෙනුණේ ය. එහි අතු සහ කොළ ශෝභන ය. පල බහුල ය. සියල්ලන්ට සෑහෙන පමණ කෑම එහි තිබුණේ ය. වන මෘගයෝ ගස යට සෙවණ ලැබුවෝ ය. අහසේ කුරුල්ලෝ අතුවල ලැගුම් ගත්තෝ ය. සියලු සත්ත්වයන්ට එයින් කෑම ලැබුණේ ය. “මා එසේ දර්ශනය දකිමින් යහනේ සිටිය දී තවදුරටත් මෙසේ දිටිමි. ස්වර්ගයෙන් ශුද්ධ මුරකාරයෙක් බැස ආයේ ය. ඔහු මහ හඬින් මොරගසා මෙසේ කී ය: ‘ගස සිඳ දමන්න, අතු කපා දමන්න, කොළ සූරා දමන්න, පල විසුරුවා දමන්න, වන මෘගයන් ගසේ සෙවණ යටින් ද කුරුල්ලන් අතුවලින් ද පලවා හරින්න. එහෙත්, ගසේ මුලේ කඳ කෑල්ල ඉතුරු කර, එයට යකඩ හා ලෝකඩ වළල්ලක් දමා පොළොවේ ලා තණ අතරේ එය තිබෙන්නට අරින්න. මේ මිනිහා අහසේ පිනිවලින් තෙමේ වා; මෘගයන් සමඟ තණ කොළ කෑවා වේ. ඔහුගේ සිත මිනිස් සිතක් නොවන ලෙස වෙනස් වී මෘග සිතක් ඔහුට ලැබී, ඒ අයුරින් අවුරුදු සතක් ගතවුණා වේ. මේ තීරණය මුරකාරයන්ගේ නියමයක් වන්නකි; මේ තීන්දුව ශුද්ධ තැනැත්තන්ගෙන් වන ප්‍රකාශනයකි. මෙසේ වන්නේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත්, මිනිසුන්ගෙන් ඉතා පහත් කෙනෙකුට වුව ද එහි පාලනය භාර දෙන බවත් ජීවත් ව සිටින අය දැනගන්න පිණිස ය. “මේ ස්වප්නය, නෙබුකද්නෙශර් රජු වන මම දිටිමි. එම්බා බෙල්ටෙෂෙසර්, එහි තේරුම මට දන්වන්න. මන්ද, මාගේ රාජ්‍යයේ සිටින සියලු ශාස්ත්‍රවන්තයන්ගෙන් එක් කෙනෙකුට වත් එය නොකළ හැකි විය. එහෙත්, දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය.” එකල බෙල්ටෙෂෙසර් නම් ලත් දානියෙල් දර්ශනය ගැන ඇති වූ සිතුවිලිවලින් කැළඹී, මොහොතකට තුෂ්ණීම්භූත ව සිටියේ ය. රජතුමා ඔහු අමතා, “බෙල්ටෙෂෙසර් ස්වප්නය ගැන වත්, එහි තේරුම ගැන වත් නොකැළඹෙන්නැ”යි කී ය. බෙල්ටෙෂෙසර් මෙසේ පිළිතුරු දුන්නේ ය: “මාගේ රජතුමනි, ස්වප්නය ඔබට ද්වේෂ කරන්නන්ටත්, එහි තේරුම ඔබේ සතුරන්ටත් අදාළ වේ වා! රජතුමනි, ඔබ දුටු, වැවී ශක්තිමත් වී කරටිය අහස උසට යනතෙක් වැඩුණු, පොළොවේ සතර දිග් භාගයක පෙනුණු, ශෝභන කොළ ද බොහෝ පල ද සියල්ලන්ට කෑම ද තිබුණු, වන මෘගයන්ට සෙවණක් වූ, අහසේ පක්ෂීන් ලැගුම් ගත්, අතු තිබුණු ගස නම් ඔබ ම ය. “ඔබ වර්ධනය වී බලවත් ව සිටින්නෙහි ය. ඔබේ උතුම්කම වැවී, අහස දක්වා නැඟී ඇත. ඔබේ පාලනය පොළොවේ සීමාන්තයන් දක්වා පැතිර ගොස් ඇත. තවද, ශුද්ධ මුරකාරයෙකු ස්වර්ගයෙන් බැස එනු ඔබ දුටුවෙහි ය. ඔහු මෙසේ කී ය: ‘ගහ සිඳදමා විනාශකරන්න, එහෙත්, එහි මුල් හා කඳ යකඩ හා ලෝකඩ වළල්ලක් දමා පොළොවේ ළා තණ අතරේ තිබෙන්නට අරින්න. ඒ මිනිසා අහසේ පිනිවලින් තෙමේ වා. අවුරුදු සතක් ගතවන තුරු ඔහු මෘගයන් සමඟ තණ කොළ කෑවා වේ.’ “රජතුමනි, එහි තේරුම මෙය වේ. එය මාගේ ස්වාමීන් වන රජතුමාට පැමිණ තිබෙන මහෝත්තමයාණන්ගේ නියමය ය. ඔබ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. ඔබේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේ ය. ගවයන්ට මෙන් ඔබට තණ කොළ කවනු ලබන්නෙහි ය. ඔබ අහසේ පින්නෙන් තෙමනු ලබන්නෙහි ය. මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් ඔබ දැනගන්න තුරු, අවුරුදු සතක් ඔබ ගත කරන්නෙහි ය. කෙසේ වෙතත්, අර මුරකාරයා ගසේ මුලේ කඳ කොටස ඉතිරි කරන්නට අණ කෙළේ ය. එහි තේරුම මෙය යි. මහෝත්තමයාණන් මනුෂ්‍ය රාජ්‍යයන් පාලනය කරන බව ඔබ දැනගත් පසු ඔබේ රාජ්‍යය ඔබට ස්ථිර වන්නේ ය.

දානියෙල් 4:1-26 New International Version (NIV)

King Nebuchadnezzar, To the nations and peoples of every language, who live in all the earth: May you prosper greatly! It is my pleasure to tell you about the miraculous signs and wonders that the Most High God has performed for me. How great are his signs, how mighty his wonders! His kingdom is an eternal kingdom; his dominion endures from generation to generation. I, Nebuchadnezzar, was at home in my palace, contented and prosperous. I had a dream that made me afraid. As I was lying in bed, the images and visions that passed through my mind terrified me. So I commanded that all the wise men of Babylon be brought before me to interpret the dream for me. When the magicians, enchanters, astrologers and diviners came, I told them the dream, but they could not interpret it for me. Finally, Daniel came into my presence and I told him the dream. (He is called Belteshazzar, after the name of my god, and the spirit of the holy gods is in him.) I said, “Belteshazzar, chief of the magicians, I know that the spirit of the holy gods is in you, and no mystery is too difficult for you. Here is my dream; interpret it for me. These are the visions I saw while lying in bed: I looked, and there before me stood a tree in the middle of the land. Its height was enormous. The tree grew large and strong and its top touched the sky; it was visible to the ends of the earth. Its leaves were beautiful, its fruit abundant, and on it was food for all. Under it the wild animals found shelter, and the birds lived in its branches; from it every creature was fed. “In the visions I saw while lying in bed, I looked, and there before me was a holy one, a messenger, coming down from heaven. He called in a loud voice: ‘Cut down the tree and trim off its branches; strip off its leaves and scatter its fruit. Let the animals flee from under it and the birds from its branches. But let the stump and its roots, bound with iron and bronze, remain in the ground, in the grass of the field. “ ‘Let him be drenched with the dew of heaven, and let him live with the animals among the plants of the earth. Let his mind be changed from that of a man and let him be given the mind of an animal, till seven times pass by for him. “ ‘The decision is announced by messengers, the holy ones declare the verdict, so that the living may know that the Most High is sovereign over all kingdoms on earth and gives them to anyone he wishes and sets over them the lowliest of people.’ “This is the dream that I, King Nebuchadnezzar, had. Now, Belteshazzar, tell me what it means, for none of the wise men in my kingdom can interpret it for me. But you can, because the spirit of the holy gods is in you.” Then Daniel (also called Belteshazzar) was greatly perplexed for a time, and his thoughts terrified him. So the king said, “Belteshazzar, do not let the dream or its meaning alarm you.” Belteshazzar answered, “My lord, if only the dream applied to your enemies and its meaning to your adversaries! The tree you saw, which grew large and strong, with its top touching the sky, visible to the whole earth, with beautiful leaves and abundant fruit, providing food for all, giving shelter to the wild animals, and having nesting places in its branches for the birds— Your Majesty, you are that tree! You have become great and strong; your greatness has grown until it reaches the sky, and your dominion extends to distant parts of the earth. “Your Majesty saw a holy one, a messenger, coming down from heaven and saying, ‘Cut down the tree and destroy it, but leave the stump, bound with iron and bronze, in the grass of the field, while its roots remain in the ground. Let him be drenched with the dew of heaven; let him live with the wild animals, until seven times pass by for him.’ “This is the interpretation, Your Majesty, and this is the decree the Most High has issued against my lord the king: You will be driven away from people and will live with the wild animals; you will eat grass like the ox and be drenched with the dew of heaven. Seven times will pass by for you until you acknowledge that the Most High is sovereign over all kingdoms on earth and gives them to anyone he wishes. The command to leave the stump of the tree with its roots means that your kingdom will be restored to you when you acknowledge that Heaven rules.