දානියෙල් 4:1-26

දානියෙල් 4:1-26 SROV

නෙබුකද්නෙශර් රජු විසින් මුළු පොළොවේ වාසයකරන සකල ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා එවන වගනම්: නුඹලාට සමාදානය වැඩිවේවා. මහෝත්තම දෙවියන්වහන්සේ මා උදෙසා කළ ලකුණු සහ ආශ්චර්යයන් දන්වන්ට ප්‍රසන්නව සිටිමි. උන්වහන්සේගේ ලකුණු කොපමණ මහත්ද! උන්වහන්සේගේ ආශ්චර්යයෝ කොපමණ බලවත්ද! උන්වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, උන්වහන්සේගේ ආණ්ඩුව පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේය. නෙබුකද්නෙශර් වන මම මාගේ නිවසෙහි සුවසේද මාගේ මාළිගාවෙහි සැපතින්ද සිටියදී, මට භය ඉපදෙවූ ස්වප්නයක් දුටුවෙමි; මාගේ යහනේදී පැමුණුණු මාගේ සිතිවිලිද මාගේ හිසේ දර්ශනද මා කැලඹුවේය. එවිට ස්වප්නයේ අර්ථය මට දන්වන පිණිස බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මා ඉදිරියට පමුණුවන්ට ආඥාකෙළෙමි. එකල මන්ත්‍රකාරයෝද අනවිනකාරයෝද කල්දිවරුද පේනකියන්නෝද ආවෝය. මම ඔවුන් ඉදිරියෙහි ස්වප්නය කීවෙමි; එහෙත් එහි අර්ථය ඔවුන් මට පෙන්වාදුන්නේ නැත. අන්තිමේදී මාගේ දෙවියන්ගේ නාමය ලෙස බේල්ටෙෂශර් නම්වූ, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇත්තාවූ දානියෙල් මා ඉදිරියට ආයේය. මම ඔහු ඉදිරියෙහි ස්වප්නය මෙසේ කීවෙමි: මායාකාරයන්ගේ ප්‍රධානියාවූ බේල්ටෙෂශර්, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන බවත් කිසි රහසක් විසඳීම නුඹට අමාරු නොවන බවත් දනිමි, එබැවින් මා දුටු ස්වප්නයේ දර්ශනද එහි අර්ථයද මට කියන්න. මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන මෙසේය–බොහෝ උස ඇති ගහක් පොළොව මැද තිබෙනවා දුටිමි. ඒ ගස වැඩී, ශක්තිමත්ව තිබුණේය, ඒකේ උස අහස දක්වා විය, ඒක මුළු පොළොවේ කෙළවරට පෙනුණේය. එහි කොළ ශෝභනව, එහි ඵල බොහෝව තිබුණේය, එය තුළ සියල්ලන්ට ආහාර තිබුණේය. ඒක යට වනයේ මෘගයන්ට සෙවණ තිබුණේය, ඒකේ අතුවල ආකාශ පක්ෂියෝ ලැග්ගෝය, සියලු සත්වයන්ට එයින් කෑම ලැබුණේය. මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන වලදී මා බලාඉන්න අතර, ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස්සේය. ඔහු මොරගා කෑගසමින්: ගහ කපාදමන්න, ඒකේ අතුත් කපාදමා, ඒකේ කොළ සොලවාදමා, ඒකේ ඵල විසුරුවන්න. මෘගයෝ ඒක යටින්ද පක්ෂීහු ඒකේ අතුවලින්ද අහක්ව යත්වා. එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහුගේ කොටස මෘගයන් සමඟ පොළොවේ තණකොළ අතරේ වේවා. ඔහුගේ සිත මනුෂ්‍ය සිතක් නොවන හැටියට වෙනස්වී, මෘග සිතක් ඔහුට ලැබී, එසේ ඔහු කාලවල් සතක් පසුකෙරේවා. මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමැති කෙනෙකුට ඒක දී, මනුෂ්‍යයන්ගෙන් නීචයෙකු නුමුත් එය කෙරෙහි පත්කරන බව ජීවත්ව සිටින අය දැනගන්න පිණිස, මේ තීන්දුව රැකවලුන්ගේ නියමයෙන්ද මේ ආඥාව ශුද්ධ තැනත්තන්ගේ වචනයෙන්ද වන්නේයයි කීවේය. මේ ස්වප්නය නෙබුකද්නෙශර් රජ වන මම දුටිමි. බේල්ටෙෂශර්, නුඹ අර්ථය කියන්න, මක්නිසාද මට අර්ථය දන්වන්ට මාගේ රාජ්‍යයේ සියලු ශාස්ත්‍රවන්තයන්ට බැරිය; නුමුත් ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන නිසා නුඹට නම් පුළුවන. එකල බේල්ටෙෂශර් නම්වූ දානියෙල් මොහොතක් පමණ විස්මපත්ව හිඳ, තමාගේ සිතිවිලි නිසා කැලඹුණේය. රජ කථාකොට: බේල්ටෙෂශර්, නුඹ ස්වප්නය ගැනවත් එහි අර්ථය ගැනවත් නොකැලඹෙන්නැයි කීවේය. බේල්ටෙෂශර් උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, ඒ ස්වප්නය ඔබට වෛරවෙන්නන්ටත් එහි අර්ථය ඔබගේ සතුරන්ටත් වේවා. රජ්ජුරුවෙනි, ඔබ දුටුවාවූ, වැඩී ශක්තිමත්වී අහස දක්වා උස්ව තිබුණාවූ, මුළු පොළොවට පෙනුණාවූ, ශෝභන කොළද බොහෝ ඵලද සියල්ලන්ට කෑමද තිබුණාවූ, වනයේ මෘගයන් වාසයකළාවූ, ආකාශ පක්ෂීන් ලැග්ගාවූ ගස නම්, මහත්ව බලවත්ව සිටින ඔබමය. ඔබගේ මහත්කමද වැඩී තිබේ, එය අහස දක්වාත් ඔබගේ ආණ්ඩුව පොළොවේ කෙළවර දක්වාත් ඇත්තේය. තවද ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස කථාකොට: ගහ කපාදමා විනාශකරන්න; එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහු කාලවල් සතක් පසුකරන තුරු ඔහුගේ කොටස වනයේ මෘගයන් සමඟ වේවායි කියනවා රජ දුටු බැවින්, රජ්ජුරුවෙනි, අර්ථය මෙසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට පැමිණී තිබෙන මහෝත්තමයාණන්ගේ නියමයද මෙසේය: ඔබ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, ඔබගේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය, ගවයන්ට මෙන් ඔබට තෘණ කවනු ලබන්නේය, ඔබ අහසේ පින්නෙන් තෙමෙන්නෙහිය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, කැමැති කෙනෙකුට ඒක දෙන බව ඔබ දැනගන්න තුරු, ඔබ කාලවල් සතක් පසුකරනවා ඇත. ඇරත් ගසේ මුල්වල කොටස ඉතිරිකරන්ට අණකළ බැවින්, ස්වර්ගය විසින් බලය පවත්වන බව ඔබ දැනගත් පසු, ඔබගේ රාජ්‍යය ඔබට ස්ථිරවන්නේය.