දානියෙල් 4:1-26

දානියෙල් 4:1-26 NRSV

නෙබුකද්නෙශර් රජ මුළු ලොවේ වාසය කරන සකල ජනයන් හටත්, ජාතීන් හටත්, ඒ ඒ භාෂාවන් කතා කරන සියල්ලන් හටත් මෙසේ නිවේදනය කෙළේ ය: “ඔබට සාමදානය වේ වා! මහෝත්තම දෙවියන් වහන්සේ මා උදෙසා කළ හාස්කම් ද අරුමපුදුම දේ ද ඔබට දැන්වීම මැනව යි මට පෙනිණි. උන් වහන්සේ දැක් වූ හාස්කම් කොපමණ මහත් ද? උන් වහන්සේ කළ අරුමපුදුම දේ කොපමණ බලවත් ද? උන් වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක් ය. උන් වහන්සේගේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේ ය. “නෙබුකද්නෙශර් වන මම මාගේ මාලිගාවේ සැපසම්පත් භුක්ති විඳිමින් සුව සේ සිටියෙමි. එසේ සිටිය දී මා තැති ගැන්වූ ස්වප්නයක් දුටුවෙමි. මා යහනේ සිටිය දී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුණු දර්ශන මා බිය ගැන්වී ය. ස්වප්නයේ තේරුම මට දන්වන පිණිස බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මා ඉදිරියට පමුණුවන හැටියට මම අණ කෙළෙමි. එවිට මන්ත්‍රකාරයෝ ද අනවිනකාරයෝ ද දෛවඥයෝ ද පේන කියන්නෝ ද මා වෙත ආවෝ ය. මම ඔවුන් ඉදිරියේ මා දුටු ස්වප්නය කීවෙමි. එහෙත්, ඔවුන්ට එහි තේරුම මට කියා දෙන්නට නොහැකි විය. අන්තිමේ දී මාගේ දෙවියන්ගේ නාමය අනුව ‘බෙල්ටෙෂෙසර්’ කියා නම් කරන ලද දේවාත්මානුභාවය ඇති දානියෙල් මා ඉදිරියට ආවේ ය. දුටු ස්වප්නය මම ඔහුට කීවෙමි: මන්ත්‍රකාරයන්ගේ ප්‍රධානියා වන බෙල්ටෙෂෙසර්, ඔබට දේවාත්මානුභාවය ඇති බවත් කිසි අබිරහසක් විසඳීම ඔබට දුෂ්කර කාර්යයක් නොවන බවත් මම දනිමි. මා දුටු ස්වප්නය මෙය වේ. එහි තේරුම මට පහදා දෙන්න. “මා යහනේ සිටිය දී මාගේ හිසට නැඟුණු දර්ශනය මෙය වේ. ඉතා උස ගහක් පොළොව මැද තිබෙනු මම දිටිමි. ඒ ගස වැවී ශක්තිමත් වී, කරටිය අහසේ උසට යන තෙක් වැඩුණේ ය. පොළොවේ සතර දිග් භාගයට ඒ ගස පෙනුණේ ය. එහි අතු සහ කොළ ශෝභන ය. පල බහුල ය. සියල්ලන්ට සෑහෙන පමණ කෑම එහි තිබුණේ ය. වන මෘගයෝ ගස යට සෙවණ ලැබුවෝ ය. අහසේ කුරුල්ලෝ අතුවල ලැගුම් ගත්තෝ ය. සියලු සත්ත්වයන්ට එයින් කෑම ලැබුණේ ය. “මා එසේ දර්ශනය දකිමින් යහනේ සිටිය දී තවදුරටත් මෙසේ දිටිමි. ස්වර්ගයෙන් ශුද්ධ මුරකාරයෙක් බැස ආයේ ය. ඔහු මහ හඬින් මොරගසා මෙසේ කී ය: ‘ගස සිඳ දමන්න, අතු කපා දමන්න, කොළ සූරා දමන්න, පල විසුරුවා දමන්න, වන මෘගයන් ගසේ සෙවණ යටින් ද කුරුල්ලන් අතුවලින් ද පලවා හරින්න. එහෙත්, ගසේ මුලේ කඳ කෑල්ල ඉතුරු කර, එයට යකඩ හා ලෝකඩ වළල්ලක් දමා පොළොවේ ලා තණ අතරේ එය තිබෙන්නට අරින්න. මේ මිනිහා අහසේ පිනිවලින් තෙමේ වා; මෘගයන් සමඟ තණ කොළ කෑවා වේ. ඔහුගේ සිත මිනිස් සිතක් නොවන ලෙස වෙනස් වී මෘග සිතක් ඔහුට ලැබී, ඒ අයුරින් අවුරුදු සතක් ගතවුණා වේ. මේ තීරණය මුරකාරයන්ගේ නියමයක් වන්නකි; මේ තීන්දුව ශුද්ධ තැනැත්තන්ගෙන් වන ප්‍රකාශනයකි. මෙසේ වන්නේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත්, මිනිසුන්ගෙන් ඉතා පහත් කෙනෙකුට වුව ද එහි පාලනය භාර දෙන බවත් ජීවත් ව සිටින අය දැනගන්න පිණිස ය. “මේ ස්වප්නය, නෙබුකද්නෙශර් රජු වන මම දිටිමි. එම්බා බෙල්ටෙෂෙසර්, එහි තේරුම මට දන්වන්න. මන්ද, මාගේ රාජ්‍යයේ සිටින සියලු ශාස්ත්‍රවන්තයන්ගෙන් එක් කෙනෙකුට වත් එය නොකළ හැකි විය. එහෙත්, දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය.” එකල බෙල්ටෙෂෙසර් නම් ලත් දානියෙල් දර්ශනය ගැන ඇති වූ සිතුවිලිවලින් කැළඹී, මොහොතකට තුෂ්ණීම්භූත ව සිටියේ ය. රජතුමා ඔහු අමතා, “බෙල්ටෙෂෙසර් ස්වප්නය ගැන වත්, එහි තේරුම ගැන වත් නොකැළඹෙන්නැ”යි කී ය. බෙල්ටෙෂෙසර් මෙසේ පිළිතුරු දුන්නේ ය: “මාගේ රජතුමනි, ස්වප්නය ඔබට ද්වේෂ කරන්නන්ටත්, එහි තේරුම ඔබේ සතුරන්ටත් අදාළ වේ වා! රජතුමනි, ඔබ දුටු, වැවී ශක්තිමත් වී කරටිය අහස උසට යනතෙක් වැඩුණු, පොළොවේ සතර දිග් භාගයක පෙනුණු, ශෝභන කොළ ද බොහෝ පල ද සියල්ලන්ට කෑම ද තිබුණු, වන මෘගයන්ට සෙවණක් වූ, අහසේ පක්ෂීන් ලැගුම් ගත්, අතු තිබුණු ගස නම් ඔබ ම ය. “ඔබ වර්ධනය වී බලවත් ව සිටින්නෙහි ය. ඔබේ උතුම්කම වැවී, අහස දක්වා නැඟී ඇත. ඔබේ පාලනය පොළොවේ සීමාන්තයන් දක්වා පැතිර ගොස් ඇත. තවද, ශුද්ධ මුරකාරයෙකු ස්වර්ගයෙන් බැස එනු ඔබ දුටුවෙහි ය. ඔහු මෙසේ කී ය: ‘ගහ සිඳදමා විනාශකරන්න, එහෙත්, එහි මුල් හා කඳ යකඩ හා ලෝකඩ වළල්ලක් දමා පොළොවේ ළා තණ අතරේ තිබෙන්නට අරින්න. ඒ මිනිසා අහසේ පිනිවලින් තෙමේ වා. අවුරුදු සතක් ගතවන තුරු ඔහු මෘගයන් සමඟ තණ කොළ කෑවා වේ.’ “රජතුමනි, එහි තේරුම මෙය වේ. එය මාගේ ස්වාමීන් වන රජතුමාට පැමිණ තිබෙන මහෝත්තමයාණන්ගේ නියමය ය. ඔබ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. ඔබේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේ ය. ගවයන්ට මෙන් ඔබට තණ කොළ කවනු ලබන්නෙහි ය. ඔබ අහසේ පින්නෙන් තෙමනු ලබන්නෙහි ය. මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් ඔබ දැනගන්න තුරු, අවුරුදු සතක් ඔබ ගත කරන්නෙහි ය. කෙසේ වෙතත්, අර මුරකාරයා ගසේ මුලේ කඳ කොටස ඉතිරි කරන්නට අණ කෙළේ ය. එහි තේරුම මෙය යි. මහෝත්තමයාණන් මනුෂ්‍ය රාජ්‍යයන් පාලනය කරන බව ඔබ දැනගත් පසු ඔබේ රාජ්‍යය ඔබට ස්ථිර වන්නේ ය.