දානියෙල් 3:15-25

දානියෙල් 3:15-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දැන් හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල සංගීත නාදය ඔබට ඇසෙන කල, මා හදා ඇති පිළිමයට බිම වැතිරී නමස්කාර කරන්නට ඔබ සූදානම් වූවොත් යෙහෙකි. එහෙත් ඔබ ඊට නමස්කාර නො කරන්නේ නම්, ඇවිළෙන ගිනි උදුනක් තුළට එවේලේ ම ඔබ හෙළා දැමේ. එවිට මගේ අතින් ඔබ මුදාලීමට සමත් දෙවියා කවුරු දැ?” යි ඇසී ය. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ රජුට පිළිතුරු දෙමින්, “එම්බා නෙබුකද්නෙසර්, මේ කාරණයේදී ඔබ ඉදිරියේ නිදහසට කරුණු කීමේ වුවමනාවක් අපට නැත. එසේ කරනු ලැබුවත්, ඇවිළෙන ගිනි උදුනෙන් අප ගලවා ගන්නට අප සේවය කරන අපේ දෙවියන්වහන්සේට පුළුවන. එම්බා රජ්ජුරුවනි, ඔබේ අතින් උන්වහන්සේ අප මුදාලන සේක. උන්වහන්සේ එසේ නො කළත්, අහෝ රජ්ජුරුවනි, ඔබේ දෙවිවරුන්ට අප සේවය කරන්නේ නැති වගත්, ඔබ පිහිටූ රන් පිළිමයට අප නමස්කාර කරන්නේ නැති වගත් දැනගන්න” යි කීහ. එවිට නෙබුකද්නෙසර් මුළුමනින් කෝපාවිෂ්ට විය. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ වෙත ඔහුගේ මුහුණේ ස්වාභාව වෙනස් විය. ගිනි උදුන එහි සාමාන්‍ය උෂ්ණත්වයට වඩා හත් ගුණයකින් රත් කරන්නට ඔහු නියෝග කළේ ය. ෂද්‍රක් ද මේෂක් ද අබේද්-නෙගෝ ද බැඳ, ඇවිළෙන ගිනි උදුනට ඔවුන් හෙළා දමන ලෙස, ඔහු තම හමුදාවේ වඩා ශක්තිමත් හේවායින් කීපදෙනකුට නියෝග කළේ ය. එබැවින් ඒ මිනිස්සු ඔවුන් ඇඳ සිටි සළු, කබා, තලප්පා හා සෙසු ඇඳුම් පිටින් ම බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළා දමන ලදහ. රජුගේ අණ ඒ සා හදිසි වූ නිසාත්, ගිනි උදුන අධික ලෙස රත් ව තිබූ නිසාත් ඒ වියරු ගිනි දළුවලින් ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ ඔසවාගෙන ගිය සෙබළුන් මරා දැමිණ. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ යන තිදෙනා ම බැඳි බැමි පිටින් ම ඇවිළෙන ගිනි උදුන තුළට වැටුණහ. එවිට විස්මයෙන් ඇලළී හදිසියෙන් ම නැගී සිටි නෙබුකද්නෙසර්, “අප ගින්නට හෙළා දැම්මේ බඳිනු ලැබූ මිනිසුන් තුන් දෙනෙක් නො වේ දැ?” යි ඔහුගේ උපදේශකයන්ට කියා පෑවේ ය. “සත්තකින් ම එසේය රජතුමනි” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට ඔහු, “අර බලන්න! මිනිසුන් සතර දෙනෙක් බැඳුම් නොමැතිව, ගින්න මැද ඇවිදිනු මට පෙනේ; ඔවුන්ට උපද්‍රවයක් නැත. සතරවැන්නා පෙනුමෙන් දෙවියන්ගේ පුත්‍රයකු වගේ” යි පැවසී ය.

දානියෙල් 3:15-25 Sinhala Revised Old Version (SROV)

ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය. ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත. ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක. එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවෝය. එකල නෙබුකද්නෙශර් කෝපයෙන් පිරුණේය, ෂද්‍රක්ටද මේෂක්ටද අබේද්-නෙගෝටද විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස්විය. ඔහු කථාකොට, පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයක් උදුන රත්කරන්ට අණ කෙළේය. තවද ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළන්ට ඔහු තමාගේ සේනාවේ බලවත් මනුෂ්‍යයන්ට අණකෙළේය. එකල ඔව්හු ඒ මනුෂ්‍යයන් ඔවුන්ගේ පොරෝනද සැට්ටද සළුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ, ඇවිළෙන ගිනි උදුන මැදට හෙළූහ. එවිට රජුගේ ආඥාව තද නිසා උදුන ඉතා රත්ව තිබුණු බැවින්, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද එසවූ මනුෂ්‍යයෝ ගිනි දළුවෙන් මළෝය. ඒ මනුෂ්‍යයන් තුන් දෙනා වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඇවිළෙන ගිනි උදුන මැදට බැමි පිටින් වැටුණෝය. එකල නෙබුකද්නෙශර් රජ විස්මපත්වී, ඉක්මනින් නැගිට, තමාගේ මන්ත්‍රීවරුන්ට කථාකොට: අප විසින් මනුෂ්‍යයන් තුන්දෙනකු බැඳ ගින්නට හෙළුවා නොවේදැයි කීවේය. එසේය, රජ්ජුරුවෙනියි ඔව්හු රජුට උත්තරදෙමින් කීවෝය. ඔහු උත්තරදෙමින්: අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය.

දානියෙල් 3:15-25 Sinhala New Revised Version (NRSV)

හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන විට බිම වැටී මා සාදා තිබෙන රූපයට නමස්කාර කරන්නට ඔබ සූදානම් ද? එසේ නම් යහපති; නැත්නම්, රන් රූපයට ඔබ නමස්කාර නොකළොත්, එකෙණෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට ඔබ හෙළනු ලබනු ඇත. එවිට මාගේ අත්වලින් ඔබ ගළවන දෙවියෝ කවුරු ද කියා බලමු.” ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “රජතුමනි, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට වුවමනා නැත. රජතුමනි, ඇවිලෙන ගිනි උදුනෙන් අප ගළවාගන්නට පුළුවන් දෙවි කෙනෙක් සිටිත් නම්, ඒ අප වැඳුම්පිදුම් කරන දෙවියන් වහන්සේ ම ය. ඔබේ අතින් උන් වහන්සේ අප ගළවන සේක. රජතුමනි, උන් වහන්සේ එසේ නොකළත්, අප ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා ඇති රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැති බව ඔබට දන්වන්නට කැමැත්තෙමු.” ඒ ඇසූ නෙබුකද්නෙශර් අතිශයෙන් කෝපාවිෂ්ට විය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ දෙස ඔහුගේ මුහුණේ බැල්ම වෙනස් වී ගිනි උදුන සාමාන්‍ය ප්‍රමාණයට වඩා සත් ගුණයක් රත් කරන්නට නියම කෙළේ ය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ බැඳ, ඇවිලෙන ගිනි උදුනට හෙළන්නට ඔහු තමාගේ සේනාවේ ශක්ති සම්පන්න අයට අණ කෙළේ ය. ඔව්හු ඒ තිදෙනා ඔවුන් ඇඳ සිටි සළුව, කබාය, හිස වැස්ම යනාදී සියලු ඇඳුම් පිටින් ම බැඳ ඇවිලෙන ගිනි උදුන මැදට හෙළූ හ. රජ්ජුරුවන්ගේ නියමය වහා ඉටු කළ යුතු ව තිබුණු බැවින් ද ගිනි උදුන ඉතා රත් ව තිබුණු බැවින් ද ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ ගෙන ගිය අය පිටතට විහිදී ආ ගිනි දලුවලින් දැවී මළෝ ය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ යන තිදෙනා බැමි පිටින් ම ගිනි උදුන මැදට වැටුණෝ ය. නෙබුකද්නෙශර් රජ පුදුමයට පත් වී, වහා නැඟිට මන්ත්‍රීවරුන් අමතා, “අප බැඳ ගින්නට හෙළුවේ මිනිස්සු තුන්දෙනෙක් නොවෙත් දැ”යි ඇසී ය. “එසේ ය, රජතුමනි” කියා ඔව්හු පිළිතුරු දුන්හ. එවිට රජතුමා, “අන්න, මිනිසුන් සතරදෙනෙකු සිටිනු මට පෙනේ, කිසි පීඩාවක් නැති ව ඔව්හු ගින්න මැද ඇවිදිති. සතරවැනියා පෙනුමෙන් දේව පුත්‍රයෙකු වැනි ය”යි කී ය.

දානියෙල් 3:15-25 New International Version (NIV)

Now when you hear the sound of the horn, flute, zither, lyre, harp, pipe and all kinds of music, if you are ready to fall down and worship the image I made, very good. But if you do not worship it, you will be thrown immediately into a blazing furnace. Then what god will be able to rescue you from my hand?” Shadrach, Meshach and Abednego replied to him, “King Nebuchadnezzar, we do not need to defend ourselves before you in this matter. If we are thrown into the blazing furnace, the God we serve is able to deliver us from it, and he will deliver us from Your Majesty’s hand. But even if he does not, we want you to know, Your Majesty, that we will not serve your gods or worship the image of gold you have set up.” Then Nebuchadnezzar was furious with Shadrach, Meshach and Abednego, and his attitude toward them changed. He ordered the furnace heated seven times hotter than usual and commanded some of the strongest soldiers in his army to tie up Shadrach, Meshach and Abednego and throw them into the blazing furnace. So these men, wearing their robes, trousers, turbans and other clothes, were bound and thrown into the blazing furnace. The king’s command was so urgent and the furnace so hot that the flames of the fire killed the soldiers who took up Shadrach, Meshach and Abednego, and these three men, firmly tied, fell into the blazing furnace. Then King Nebuchadnezzar leaped to his feet in amazement and asked his advisers, “Weren’t there three men that we tied up and threw into the fire?” They replied, “Certainly, Your Majesty.” He said, “Look! I see four men walking around in the fire, unbound and unharmed, and the fourth looks like a son of the gods.”