දානියෙල් 3:15-25

දානියෙල් 3:15-25 NRSV

හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන විට බිම වැටී මා සාදා තිබෙන රූපයට නමස්කාර කරන්නට ඔබ සූදානම් ද? එසේ නම් යහපති; නැත්නම්, රන් රූපයට ඔබ නමස්කාර නොකළොත්, එකෙණෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට ඔබ හෙළනු ලබනු ඇත. එවිට මාගේ අත්වලින් ඔබ ගළවන දෙවියෝ කවුරු ද කියා බලමු.” ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “රජතුමනි, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට වුවමනා නැත. රජතුමනි, ඇවිලෙන ගිනි උදුනෙන් අප ගළවාගන්නට පුළුවන් දෙවි කෙනෙක් සිටිත් නම්, ඒ අප වැඳුම්පිදුම් කරන දෙවියන් වහන්සේ ම ය. ඔබේ අතින් උන් වහන්සේ අප ගළවන සේක. රජතුමනි, උන් වහන්සේ එසේ නොකළත්, අප ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා ඇති රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැති බව ඔබට දන්වන්නට කැමැත්තෙමු.” ඒ ඇසූ නෙබුකද්නෙශර් අතිශයෙන් කෝපාවිෂ්ට විය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ දෙස ඔහුගේ මුහුණේ බැල්ම වෙනස් වී ගිනි උදුන සාමාන්‍ය ප්‍රමාණයට වඩා සත් ගුණයක් රත් කරන්නට නියම කෙළේ ය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ බැඳ, ඇවිලෙන ගිනි උදුනට හෙළන්නට ඔහු තමාගේ සේනාවේ ශක්ති සම්පන්න අයට අණ කෙළේ ය. ඔව්හු ඒ තිදෙනා ඔවුන් ඇඳ සිටි සළුව, කබාය, හිස වැස්ම යනාදී සියලු ඇඳුම් පිටින් ම බැඳ ඇවිලෙන ගිනි උදුන මැදට හෙළූ හ. රජ්ජුරුවන්ගේ නියමය වහා ඉටු කළ යුතු ව තිබුණු බැවින් ද ගිනි උදුන ඉතා රත් ව තිබුණු බැවින් ද ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ ගෙන ගිය අය පිටතට විහිදී ආ ගිනි දලුවලින් දැවී මළෝ ය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ යන තිදෙනා බැමි පිටින් ම ගිනි උදුන මැදට වැටුණෝ ය. නෙබුකද්නෙශර් රජ පුදුමයට පත් වී, වහා නැඟිට මන්ත්‍රීවරුන් අමතා, “අප බැඳ ගින්නට හෙළුවේ මිනිස්සු තුන්දෙනෙක් නොවෙත් දැ”යි ඇසී ය. “එසේ ය, රජතුමනි” කියා ඔව්හු පිළිතුරු දුන්හ. එවිට රජතුමා, “අන්න, මිනිසුන් සතරදෙනෙකු සිටිනු මට පෙනේ, කිසි පීඩාවක් නැති ව ඔව්හු ගින්න මැද ඇවිදිති. සතරවැනියා පෙනුමෙන් දේව පුත්‍රයෙකු වැනි ය”යි කී ය.

දානියෙල් 3:15-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය