දානියෙල් 3:15-25

දානියෙල් 3:15-25 SROV

ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය. ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත. ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක. එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවෝය. එකල නෙබුකද්නෙශර් කෝපයෙන් පිරුණේය, ෂද්‍රක්ටද මේෂක්ටද අබේද්-නෙගෝටද විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස්විය. ඔහු කථාකොට, පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයක් උදුන රත්කරන්ට අණ කෙළේය. තවද ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළන්ට ඔහු තමාගේ සේනාවේ බලවත් මනුෂ්‍යයන්ට අණකෙළේය. එකල ඔව්හු ඒ මනුෂ්‍යයන් ඔවුන්ගේ පොරෝනද සැට්ටද සළුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ, ඇවිළෙන ගිනි උදුන මැදට හෙළූහ. එවිට රජුගේ ආඥාව තද නිසා උදුන ඉතා රත්ව තිබුණු බැවින්, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද එසවූ මනුෂ්‍යයෝ ගිනි දළුවෙන් මළෝය. ඒ මනුෂ්‍යයන් තුන් දෙනා වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඇවිළෙන ගිනි උදුන මැදට බැමි පිටින් වැටුණෝය. එකල නෙබුකද්නෙශර් රජ විස්මපත්වී, ඉක්මනින් නැගිට, තමාගේ මන්ත්‍රීවරුන්ට කථාකොට: අප විසින් මනුෂ්‍යයන් තුන්දෙනකු බැඳ ගින්නට හෙළුවා නොවේදැයි කීවේය. එසේය, රජ්ජුරුවෙනියි ඔව්හු රජුට උත්තරදෙමින් කීවෝය. ඔහු උත්තරදෙමින්: අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය.

දානියෙල් 3:15-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය