ගීතාවලිය 79
79
ගීතාවලිය 79
ආසාෆ්ගේ ගීතයකි.
1අහෝ දෙවියන්වහන්ස, පිට ජාතීන්, ඔබගේ උරුමය ආක්‍රමණ කර ඇත;
ඔවුහු ඔබගේ ශුද්ධ මාලිගය අපවිත්‍ර කර,
යෙරුසලම ගල් කැබලි ගොඩක් බවට පත් කර ඇත.
2ඔබගේ සේවකයින්ගේ මළ කඳන්
ඔවුහු අහස් පක්ෂීන්ට අහර පිණිස දුන්නෝ ය;
ඔබගේ ශුද්ධවතුන්ගේ මාංස පොළොවේ වන මෘගයන්ට අහරට දුන්නෝ ය.
3ඔවුහු යෙරුසලම මුළුල්ලේ
වතුර මෙන් ලේ වැගිරවූහ;
මළවුන් වැළලීමට කිසිවකු හෝ නැත.
4අපි අපගේ අසල්වාසීන්ට නින්දාවක් ව ඇත්තෙමු;
අප අවට වෙසෙන්නන්ට සමච්චලයක් හා අවමානයක් ව ඇත්තෙමු.
5කොපමණ කලක්, අහෝ ස්වාමින්වහන්ස, ඔබ සදහට ම අප සමඟ කෝප වන සේක් ද?
තව කොපමණ කලක් ඔබගේ ඊර්ෂ්‍යාව, ගින්නක් සේ ඇවිළේ ද?
6ඔබ නො පිළිගන්නා ජාතීන් පිට,
ඔබගේ නාමයෙන් යාච්ඤා නො කරන
රාජ්‍යයන් පිට
ඔබගේ උදහස වැගුරුව මැනව;
7මන්ද ඔවුහු යාකොබ් ගිල දැමුවෝ ය;
ඔහුගේ වාස භූමිය විනාශ කළෝ ය.
8අපේ පියවරුන්ගේ පාප අපට එරෙහිව නො ගත මැනව;
ඔබගේ දයාවන් වහ වහා අප හමුවට ඒවා;
මන්ද අප සිටින්නේ, බලාපොරොත්තු රහිත අඩියක ය.
9පිහිට වුව මැනව, අහෝ අප ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්ස,
ඔබගේ නාමයේ මහිමය උදෙසා;
මිදුව මැනව අප, කමා වුව මැනව අප පාපවලට
ඔබගේ නාමයේ ගෞරවය උදෙසා.
10“කෝ! ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොහේ දැ” යි කියන්නට
ඒ විජාතීන්ට කුමට ද ඉඩ දෙන්නේ?
ඔබගේ සේවකයින්ගේ ලේ හැලීම ගැන ඔවුන්ගෙන් ඔබ පළිය ගන්නා හැටි
අපගේ ඇස් ඉදිරිපිට ම ජාතීන්ට පෙන්වුව මැනව.
11යුද සිරකරුවන්ගේ සුසුම් ලෑම ඔබ අබිමුවට පැමිණේවා!
ඔබගේ ශක්තියේ බාහු බලය පා, මරණයට නියම වූවන් රැකගත මැනව.
12අපගේ අසල්වාසීන් ඔබ වෙත දමා ගැසූ අවලාද, හත් ගුණයකින් වැඩි කොට,
ඔවුන්ගේ ම ඔඩොක්කුවට ඒවා ආපසු හැරවුව මැනව, අහෝ ස්වාමිනි.
13එවිට ඔබගේ ජනයා වන අපි, ඔබගේ තෘණ බිමේ බැටළුවන් වන අපි,
සදහට ම ඔබට ප්‍රශංසා කරන්නෙමු;
පරම්පරාවෙන් පරම්පරාවට
නැවත නැවතත් අපි ඔබට ප්‍රශංසා කරන්නෙමු.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 79: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.