ගීතාවලිය 79:1-9

ගීතාවලිය 79:1-9 SCV

අහෝ දෙවියන්වහන්ස, පිට ජාතීන්, ඔබගේ උරුමය ආක්‍රමණ කර ඇත; ඔවුහු ඔබගේ ශුද්ධ මාලිගය අපවිත්‍ර කර, යෙරුසලම ගල් කැබලි ගොඩක් බවට පත් කර ඇත. ඔබගේ සේවකයින්ගේ මළ කඳන් ඔවුහු අහස් පක්ෂීන්ට අහර පිණිස දුන්නෝ ය; ඔබගේ ශුද්ධවතුන්ගේ මාංස පොළොවේ වන මෘගයන්ට අහරට දුන්නෝ ය. ඔවුහු යෙරුසලම මුළුල්ලේ වතුර මෙන් ලේ වැගිරවූහ; මළවුන් වැළලීමට කිසිවකු හෝ නැත. අපි අපගේ අසල්වාසීන්ට නින්දාවක් ව ඇත්තෙමු; අප අවට වෙසෙන්නන්ට සමච්චලයක් හා අවමානයක් ව ඇත්තෙමු. කොපමණ කලක්, අහෝ ස්වාමින්වහන්ස, ඔබ සදහට ම අප සමඟ කෝප වන සේක් ද? තව කොපමණ කලක් ඔබගේ ඊර්ෂ්‍යාව, ගින්නක් සේ ඇවිළේ ද? ඔබ නො පිළිගන්නා ජාතීන් පිට, ඔබගේ නාමයෙන් යාච්ඤා නො කරන රාජ්‍යයන් පිට ඔබගේ උදහස වැගුරුව මැනව; මන්ද ඔවුහු යාකොබ් ගිල දැමුවෝ ය; ඔහුගේ වාස භූමිය විනාශ කළෝ ය. අපේ පියවරුන්ගේ පාප අපට එරෙහිව නො ගත මැනව; ඔබගේ දයාවන් වහ වහා අප හමුවට ඒවා; මන්ද අප සිටින්නේ, බලාපොරොත්තු රහිත අඩියක ය. පිහිට වුව මැනව, අහෝ අප ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ මහිමය උදෙසා; මිදුව මැනව අප, කමා වුව මැනව අප පාපවලට ඔබගේ නාමයේ ගෞරවය උදෙසා.