ගීතාවලිය 79:1-9

ගීතාවලිය 79:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අහෝ දෙවියන්වහන්ස, පිට ජාතීන්, ඔබගේ උරුමය ආක්‍රමණ කර ඇත; ඔවුහු ඔබගේ ශුද්ධ මාලිගය අපවිත්‍ර කර, යෙරුසලම ගල් කැබලි ගොඩක් බවට පත් කර ඇත. ඔබගේ සේවකයින්ගේ මළ කඳන් ඔවුහු අහස් පක්ෂීන්ට අහර පිණිස දුන්නෝ ය; ඔබගේ ශුද්ධවතුන්ගේ මාංස පොළොවේ වන මෘගයන්ට අහරට දුන්නෝ ය. ඔවුහු යෙරුසලම මුළුල්ලේ වතුර මෙන් ලේ වැගිරවූහ; මළවුන් වැළලීමට කිසිවකු හෝ නැත. අපි අපගේ අසල්වාසීන්ට නින්දාවක් ව ඇත්තෙමු; අප අවට වෙසෙන්නන්ට සමච්චලයක් හා අවමානයක් ව ඇත්තෙමු. කොපමණ කලක්, අහෝ ස්වාමින්වහන්ස, ඔබ සදහට ම අප සමඟ කෝප වන සේක් ද? තව කොපමණ කලක් ඔබගේ ඊර්ෂ්‍යාව, ගින්නක් සේ ඇවිළේ ද? ඔබ නො පිළිගන්නා ජාතීන් පිට, ඔබගේ නාමයෙන් යාච්ඤා නො කරන රාජ්‍යයන් පිට ඔබගේ උදහස වැගුරුව මැනව; මන්ද ඔවුහු යාකොබ් ගිල දැමුවෝ ය; ඔහුගේ වාස භූමිය විනාශ කළෝ ය. අපේ පියවරුන්ගේ පාප අපට එරෙහිව නො ගත මැනව; ඔබගේ දයාවන් වහ වහා අප හමුවට ඒවා; මන්ද අප සිටින්නේ, බලාපොරොත්තු රහිත අඩියක ය. පිහිට වුව මැනව, අහෝ අප ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ මහිමය උදෙසා; මිදුව මැනව අප, කමා වුව මැනව අප පාපවලට ඔබගේ නාමයේ ගෞරවය උදෙසා.

ගීතාවලිය 79:1-9 Sinhala Revised Old Version (SROV)

දෙවියන්වහන්ස, අන්‍ය ජාතීහු ඔබගේ උරුමයට ඇතුල්වූවෝය; ඔව්හු ඔබගේ ශුද්ධ මාලිගාව අපවිත්‍ර කළෝය; යෙරුසලම ජරාවාස ගොඩවල් කළෝය. ඔබගේ මෙහෙකරුවන්ගේ මළකඳන් ඔව්හු ආකාශ පක්ෂීන්ටද ඔබගේ ශුද්ධවන්තයන්ගේ මාංස පොළෝතලයේ සතුන්ටද ගොදුරු කොට දුන්නෝය. ඔවුන්ගේ ලේ යෙරුසලම හාත්පස ජලය මෙන් වැගිරෙවුවෝය; ඔවුන් වළලන්ට කිසිවෙක් නොවීය. අපි අපේ අසල්වාසීන්ට නින්දා භූමියක්ද අප අවට සිටින්නන්ට හෙළාදැක්මට හා අපහාසයට කරුණක්ද වී සිටිමුව. ස්වාමිනි, කොපමණ කල් ඔබ නිරන්තරයෙන් උදහස්ව සිටිනසේක්ද? ඔබගේ ජ්වලිතය ගින්න මෙන් දැවෙන්නේද? ඔබ නාඳුනන අන්‍ය ජාතීන් පිටද ඔබගේ නාමයෙන් යාච්ඤා නොකරන රාජ්‍යයන් පිටද ඔබගේ උදහස වැගිරෙවුව මැනව. මක්නිසාද ඔව්හු යාකොබ් නාස්ති කොට ඔහුගේ වාසස්ථාන පාළුකළෝය. අපේ පියවරුන්ගේ අයුතුකම් අපට විරුද්ධව සිහි නොකළ මැනව. අප බොහෝසෙයින් පහත වැටී සිටින බැවින්, ඔබගේ මෘදුවූ දයාව වහාම අප කෙරෙහි පැමිණේවා. අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ ගෞරවය සඳහා අපට පිහිටවුව මැනව. ඔබගේ නාමය උදෙසා අප නිදහස් කොට අපේ පව් පහකරදැමුව මැනව.

ගීතාවලිය 79:1-9 Sinhala New Revised Version (NRSV)

අහෝ දෙවිඳුනි, මිසදිටුවෝ ඔබේ උරුමය ආක්‍රමණය කළෝ ය. ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසුවෝ ය. ජෙරුසලම් නගරය නටබුන් ගොඩක් කළෝ ය. ඔබේ සේවකයන්ගේ මළකඳන් ඔව්හු ආකාශ පක්ෂීන්ට කෑමට දුන්නෝ ය. ඔබේ දැහැමියන්ගේ මාංසය මිහි පිට තිරිසනුන්ට කෑමට දුන්නෝ ය. ඔව්හු ඔවුන්ගේ ලේ ජෙරුසලම වටා ජලය මෙන් වැගිරෙවුවෝ ය. ඔවුන් වැළලීමට කිසිවෙක් නොසිටියෝ ය. අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු. අහෝ සමිඳුනි! ඔබ කොපමණ කල් කෝප වී සිටින සේක් ද? සදහට ම ද? ඔබේ උදහස කොපමණ කල් ගින්න මෙන් දැවෙන්නේ ද? ඔබ නාඳුනන ජාතීන් පිට ඔබේ උදහස වැගිරෙවුව මැනව. ඔබේ නාමය කියා නොඅයදින රාජධානි පිට ද එසේ ම කළ මැනව. මන්ද, ඔව්හු ජාකොබ්ගේ පරපුර බිඳදැම්මෝ ය; ඔවුන්ගේ ගම්බිම් පාළු කොට දැම්මෝ ය. අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව. ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත. අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව; ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව.

ගීතාවලිය 79:1-9 Sinhala New Revised Version 2018 (SNRV)