ගීතාවලිය 6:1-10

ගීතාවලිය 6:1-10 SCV

අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ කෝපයෙන් මට තරවටු කරනු එපා; ඔබගේ උදහසින් මට දඬුවම් කරනු එපා. මට අනුකම්පා කළ මැනව, ස්වාමින්වහන්ස, මම අබල-දුබල ව සිටිමි; මට සුවය දුන මැන, අහෝ ස්වාමින්වහන්ස, මගේ ඇටකටු වේදනාවෙන් කකියයි. තව කොපමණ කලක් ද? අහෝ ස්වාමින්වහන්ස, මම තව කොතෙක් කලක් මේ වේදනා උසුලම් ද? ආපසු අවුත් මා බේරාගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ නොමියෙන ප්‍රේමය නිසා මා ගැලෙවුව මැනවි. යමකු මැරුණු පසු, ඔහුට ඔබ සිහි කළ නො හැක. පාතාලයේ සිට ඔබ පසසන්නේ කවුරු ද? ඉකි බිඳීමෙන් මම වෙහෙස ව සිටිමි. හැම රැයක ම කඳුළු පෙරා, මගේ යහන තෙත් බත් කරමි. මගේ යහන කඳුළින් පොඟවමි. මගේ සතුරන් මා සොවට පත් කළෙන්, හැඬූ නිසා මගේ ඇස්වල පෙනීම, හීන ව ගොසිනි. මවෙතින් ඉවත් ව යව්, දුෂ්ටකම් කරන්නෙනි, මන්ද, ස්වාමින්වහන්සේ මගේ විලාප හඬ ඇසූ සේක. දයාව ඉල්ලා මා කළ කන්නලව්ව, ස්වාමින්වහන්සේ ඇසූ සේක, මගේ යැදුම ස්වාමින්වහන්සේ පිළිගන්න සේක. මගේ සියලු සතුරන් පරාජයේ ලජ්ජාවෙන් කැලඹෙනු ඇත; සැණෙකින් ලජ්ජාවට පත් කර, ඔවුහු ආපසු හරවා යවනු ලබති.

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 6:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය