ගීතාවලිය 6:1-10

ගීතාවලිය 6:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ කෝපයෙන් මට තරවටු කරනු එපා; ඔබගේ උදහසින් මට දඬුවම් කරනු එපා. මට අනුකම්පා කළ මැනව, ස්වාමින්වහන්ස, මම අබල-දුබල ව සිටිමි; මට සුවය දුන මැන, අහෝ ස්වාමින්වහන්ස, මගේ ඇටකටු වේදනාවෙන් කකියයි. තව කොපමණ කලක් ද? අහෝ ස්වාමින්වහන්ස, මම තව කොතෙක් කලක් මේ වේදනා උසුලම් ද? ආපසු අවුත් මා බේරාගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ නොමියෙන ප්‍රේමය නිසා මා ගැලෙවුව මැනවි. යමකු මැරුණු පසු, ඔහුට ඔබ සිහි කළ නො හැක. පාතාලයේ සිට ඔබ පසසන්නේ කවුරු ද? ඉකි බිඳීමෙන් මම වෙහෙස ව සිටිමි. හැම රැයක ම කඳුළු පෙරා, මගේ යහන තෙත් බත් කරමි. මගේ යහන කඳුළින් පොඟවමි. මගේ සතුරන් මා සොවට පත් කළෙන්, හැඬූ නිසා මගේ ඇස්වල පෙනීම, හීන ව ගොසිනි. මවෙතින් ඉවත් ව යව්, දුෂ්ටකම් කරන්නෙනි, මන්ද, ස්වාමින්වහන්සේ මගේ විලාප හඬ ඇසූ සේක. දයාව ඉල්ලා මා කළ කන්නලව්ව, ස්වාමින්වහන්සේ ඇසූ සේක, මගේ යැදුම ස්වාමින්වහන්සේ පිළිගන්න සේක. මගේ සියලු සතුරන් පරාජයේ ලජ්ජාවෙන් කැලඹෙනු ඇත; සැණෙකින් ලජ්ජාවට පත් කර, ඔවුහු ආපසු හරවා යවනු ලබති.

ගීතාවලිය 6:1-10 Sinhala Revised Old Version (SROV)

ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව, ඔබගේ තද කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව. ස්වාමිනි, මම මැලවී සිටිමි; එබැවින් මට කරුණාකළ මැනව. ස්වාමිනි, මාගේ ඇට චලිතව තිබේ; එබැවින් මා සුවකළ මැනව. මාගේ ආත්මයද අතිශයින් කැලඹී තිබේ. ස්වාමිනි, ඔබ ප්‍රමාදවන්නේ කොපමණ කල්ද? ස්වාමිනි, හැරී මාගේ ප්‍රාණය නිදහස්කළමැනව. ඔබගේ කරුණාව නිසා මා ගැළවුවමැනව. මක්නිසාද මරණයේදී ඔබ සිහි කිරීමක් නැත. ෂෙයෝලේදී ඔබට ස්තුතිකරන්නේ කවරෙක්ද? මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි. මාගේ ඇස ශෝකයෙන් ක්ෂයවී මගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි. අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක. ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක. මාගේ සියලු සතුරෝ ලජ්ජාවට පැමිණ බොහෝසෙයින්ම කැලඹෙන්නාහුය. ඔව්හු පසුබටව හදිසියෙන් ලජ්ජාවට පැමිණෙන්නාහුය.

ගීතාවලිය 6:1-10 Sinhala New Revised Version (NRSV)

සමිඳුනි, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව; දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව. සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව. මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද? සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න; ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න. මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය; පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය. මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත; වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත. සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක. සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක; එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක. මාගේ සියලු සතුරෝ පරාජය වී ලජ්ජාවට පැමිණෙත් වා! හදිසියෙන් ම වියවුල් වී ආපසු හැරී යත් වා!

ගීතාවලිය 6:1-10 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්ස, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව; දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව. සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව. මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද? සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න; ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න. මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය; පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය. මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත; වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත. සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක. සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක; එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක. මාගේ සියලු සතුරෝ පරාජය වී ලජ්ජාවට පැමිණෙත් වා! හදිසියෙන් ම වියවුල් වී ආපසු හැරී යත් වා!