ගීතාවලිය 51

51
ගීතාවලිය 51
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ ගීතයකි. දාවිත්, බැත්ෂෙබා සමඟ පරදාර සේවනයේ යෙදුණු කල දිවැසිවර නාතාන් ඔහු වෙත පැමිණීමෙන් අනතුරුව.
1අහෝ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා,
මට දයා වුව මැනව;
ඔබගේ ඉමහත් අනුකම්පාවට අනුව,
මගේ අපරාධය මකා දැමුව මැනව;
2මගේ සියලු අයුතුකමින් මා සෝදා,
මගේ පාපයෙන් මා පවිත්‍ර කළ මැනව.
3මන්ද මගේ අපරාධ මම හඳුනමි,
මගේ පාප නිතර දෙවේලේ මට සිහිවෙයි.
4ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කර ඇත්තෙමි.
ඔබ හමුවේ දුෂ්ටකම් කළෙමි;
ඒ ගැන ඔබ පවසන කල, ඔබ සාධාරණ ය.
ඔබ විනිශ්චය කරන කල, ඔබ යුක්ති සහගත ය.
5උපතේදීත්, ඇත්තෙන් ම මා අයුතුකමින් යුතු විණි;
මා මව් කුස පිළිසිඳි වේලේ පටන් පාපයෙන් යුතු විණි.
6සැබවින් ම හද අභ්‍යන්තරයේ සත්‍යයට ඔබ අබිමත වන සේක;
හද ඇතුල් ගැබෙහි ඔබ මට ප්‍රඥාව උගන්වන සේක.
7හිසොප් ඉත්තෙන් ඉස, මා ශුද්ධ කළ මැනව; එවිට මම පවිත්‍ර වන්නෙමි.
මා දෝවනය කළ මැනවි; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි,
8ප්‍රීතියත්, ප්‍රමෝදයත් යළි මට අසන්නට සැලසුව මැනව.
ඔබ බිඳිනු ලැබූ මගේ ඇටකටු දැන් සොම්නස් වේවා!
9මගේ පාප වෙතින් ඔබේ මුහුණ සඟවා ගත මැනව.
මගේ සියලු අයුතුකම් මකා දැමුව මැනව.
10මා තුළෙහි පවිත්‍ර හදක් නිර්මාණ කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස,
තිරසර ආත්මයකින් මා ඇතුළාන්තය අලුත් කළ මැනව.
11ඔබ අබියසින් මා පලවා හැරීමත්,
ඔබගේ ශුද්ධාත්මයාණන් මවෙතින් ඉවත ගැනීමත් නො කළ මැනව.
12ඔබගේ ගැලවීමේ ප්‍රීතිය යළි මට දුන මැනව;
අවනත සිතක් මට දී මා දරා සිටිය මැනව.
13එවිට අපරාධකරුවනට මම ඔබේ මාර්ග කියා දෙන්නෙමි;
එකල පව්කරුවන්, ඔබ වෙත හැරී එනු ඇත.
14අහෝ දෙවියන්වහන්ස, මා ගලවා ගන්නා දෙවියන්වහන්ස,
ලේ වැගිරීමේ අපරාධයෙන් මා ගැලෙවුව මැනව;
එවිට මගේ දිවෙන් ඔබේ ධර්මිෂ්ඨකමට ගී ගැයේ.
15අහෝ ස්වාමින්වහන්ස, මගේ තොල් විවර කළ මැනව;
එවිට මගේ මුව ඔබට ප්‍රශංසා කරයි.
16යාග පූජාවට ඔබ සොම්නස් නො වේ; එසේ නො වී නම් මම ඒවා පුදන්නෙමි.
දවන යාග පූජාවට ඔබ ප්‍රසන්න නැත.
17දෙවියන්වහන්සේට පිදෙන යාග පූජාව බිඳුණු සිතක් ය;
අහෝ දෙවියන්වහන්ස, කැඩුණු, තැවෙන හදක්
ඔබ සුළු කොට නො තකන සේක.
18ඔබගේ මනා ප්‍රසන්නත්වයෙන් සියොන සඵල කළ මැනව;
යෙරුසලමේ පවුරු යළි ගොඩ නැගුව මැනව.
19එවිට, ඔබ සොම්නස් කරවන ධර්මිෂ්ඨකමේ පූජා,
හෙවත් පූර්ණ දවන යාග පූජා පිදෙනු ඇත;
එවිට ඔබේ පූජාසනය පිට ගවයින් ඔප්පු කෙරෙනු ඇත.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 51: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න