ගීතාවලිය 49

49
ගීතාවලිය 49
සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුත්‍රයන්ගෙනි. ගීතයකි.
1සියලු ජනතාවනි, මේ අහන්න;
ලොව සියලු වාසීනි, එක් ව සවන් දෙන්න,
2උසස්, පහත්,
දුප්පත්, පොහොසත් සියල්ලෙනි:
3මා මුවින් ප්‍රඥාව පැවසෙයි;
මා හදවතේ භාවනාව අවබෝධයයි.
4මම හිතෝපදේශයකට මගේ සවන යොමු කරන්නෙමි;
වීණාව වයමින්, මගේ ප්‍රහේලිකාව විස්තර කර දෙන්නෙමි:
5නපුරු දවස් පැමිණි කල, දුෂ්ට රැවටිලිකරුවන් මා වටා සිටින කල,
මම කුමට බිය වන්නෙම් ද?
6තම වස්තුව ගැන විශ්වාසය තබන ඔවුහු,
තම වස්තු සම්භාරය ගැන පාරට්ටු කර ගනිති.
7අන් කෙනකුට ජීවිත විමුක්ති සැලසීමට හෝ
ඒ අය උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් ගෙවීමට හෝ කිසි මිනිසකුට නුපුළුවන.
8ජීවිතයක මිදීමේ මිලය ඉතා ඉහළ ය.
කිසි දා එය ගෙවා නිම කරන්නට බැරි ය.
9සදහට ම ජීවත්වීමට හා
දිරා ජරාවට යෑම වැළැක්වීමට එය ප්‍රමාණවත් නැත.
10ප්‍රඥාවන්තයෝ මිය යති;
අනුවණයෝ හා නූගත්තු ද වැනසී යති;
ඒ හැම තමන්ගේ වස්තු සම්පත්, අනුන්ට තබා යති; ඒ වග ඕනෑ ම කෙනකුට පෙනේ.
11තමන්ගේ ම නමින් වූ වතු පිටි ඔවුනට තිබුණේ වී නමුදු,
සදහට ම ඔවුන්ගේ නිවෙස් වන්නේ ඔවුන්ගේ සොහොන් ය.
නිමක් නැති පරම්පරා දක්වා ඒවා ඔවුන්ගේ වාසස්ථාන වන්නේ ය.
12කොතරම් ධනවතකු වුව ද, මිනිසාට නො නැසී පැවතිය නො හැක.
ඔහු ද වැනසී යන තිරිසනුන් හා සමාන ය.
13තමන් ගැන ම විශ්වාසය තබන්නන්ගේ ද
ඔවුන්ගේ කියුම් අනුමත කරන ඔවුන්ගේ අනුගාමිකයන්ගේ ද ඉරණම මෙයයි. සෙලා
14ඔවුන් සිටින්නේ බැටළුවන් මෙන් මරණයට නියම කරනු ලදුව ය.
මරණය, ඔවුන්ගේ එඬේරා වෙයි.
ධර්මිෂ්ඨයෝ, උදයේ ඔවුන්ගේ පාලකයින් වන්නෝ ය.
ඔවුන්ගේ රූපකාය ඔවුන්ගේ සැප මන්දිරවලින් දුරස්ථ ව,
මිනී වළෙහි දිරා ජරාවට යන්නේ ය.
15එහෙත් මගේ ජීවිතය, දෙවියන්වහන්සේ ෂෙයෝලයේ#49:15 පාතාලයේ හෙවත් මළවුන්ගේ ස්ථානයේ බලයෙන් මුදා ගන්නා සේක;
සැබවින් ම උන්වහන්සේ මා පිළිගන්නා සේක. සෙලා
16යම් මිනිසකු වඩ වඩා ධනවත් වන විට,
ඔහුගේ නිවස යස ඉසුරින් පිරෙන කල, කලබල නො වන්න;
17මන්ද ඔහු මැරුණු කල, ඒ කිසිවක් ගෙන යන්නේ නැත.
ඔහුගේ යස ඉසුරු ඔහු කැටිව වළට බසින්නේ නැත.
18තමා භාග්‍යවතෙකැයි ජීවත් ව සිටියදී ඔහු සිතා සිටියත්,
ඔබ සඵල වන කල, මිනිසුන් ඔබ වර්ණනා කළත්,
19ඔහුගේ ජීවය, කිසි කලෙක ආලෝකය නො දක්නා
තම පියවරුන්ගේ නැසී ගිය පරම්පරාවට එකතු වන්නේ ය.
20අවබෝධයක් නැතිව, මහ ධනයක් ඇති මිනිසා
වැනසී යන තිරිසනකු හා සමාන ය.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 49: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න