ගීතාවලිය 145:1-13

ගීතාවලිය 145:1-13 SCV

මම ඔබ උසස් කරමි. මගේ රජ්ජුරුවන් වන දෙවියන්වහන්ස, සදහට ම, සදාතනික ව ඔබගේ නාමය පසසන්නෙමි. හැම දවසක මම ඔබ පසසමි; සදහට ම, සදාතනික ව ඔබගේ නාමය වර්ණනා කරමි. ස්වාමින්වහන්සේ උත්තම ය; උසස් ම ප්‍රශංසාව ලැබිය යුත්තාණෝ ය; උන්වහන්සේගේ උත්තම භාවය සොයා දැනගත නො හැකි ය. එක් පරම්පරාවක් ඊළඟ පරම්පරාවට ඔබ කළ දෑ වර්ණනා කරනු ඇත; ඔබගේ පරාක්‍රමවත් ක්‍රියා ගැන ඔවුන් ප්‍රකාශ කරනු ඇත. ඔබගේ රාජත්වයේ තේජවත් ශෝභාශ්‍රීය මත, ඔබගේ ආශ්චර්යවත් ක්‍රියා මත මම භාවනා කරන්නෙමි. ඔබගේ බියජනක ක්‍රියාවල බලය ගැන ඔවුන් පවසනු ඇත; මම ඔබගේ උත්තම ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. ඔබගේ අධික යහගුණයේ කීර්තිය ඔවුහු තව තව පතුරුවති, ඔබගේ ධර්මිෂ්ඨත්වය හඬ නගා ගායනා කරති. ස්වාමින්වහන්සේ දයාන්විත ය, අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අනූන ය. ස්වාමින්වහන්සේ හැම දෙනාට ම යහපත් ය; උන්වහන්සේගේ දයාව, උන්වහන්සේ නිම වූ සියල්ලන්ට ම ය. ඔබගේ සියලු වැඩ, ඔබට ප්‍රශංසා කරයි, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ සියලු ශුද්ධවත්හු ඔබට පැසසුම් දෙන්නෝ ය. ඔබගේ රාජ්‍යයේ තේජස ගැන ඔවුන් පවසනු ඇත; ඔබගේ බලය ගැන කතා කරනු ඇත. එසේ කරන්නේ, ඔබගේ පරාක්‍රමවත් ක්‍රියා ද ඔබගේ රාජ්‍යයේ තේජවත් ශෝභාශ්‍රීය ද ගැන සියලු මිනිසුන් දැනුවත් කරනා පිණිස ය. ඔබගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි; ඔබගේ ආධිපත්‍යය සියලු පරම්පරා දක්වා පවතී.