ගීතාවලිය 145

145
ගීතාවලිය 145
ප්‍රශංසා ගීතයකි. දාවිත්ගෙනි.
1මම ඔබ උසස් කරමි. මගේ රජ්ජුරුවන් වන දෙවියන්වහන්ස,
සදහට ම, සදාතනික ව ඔබගේ නාමය පසසන්නෙමි.
2හැම දවසක මම ඔබ පසසමි;
සදහට ම, සදාතනික ව ඔබගේ නාමය වර්ණනා කරමි.
3 ස්වාමින්වහන්සේ උත්තම ය; උසස් ම ප්‍රශංසාව ලැබිය යුත්තාණෝ ය;
උන්වහන්සේගේ උත්තම භාවය සොයා දැනගත නො හැකි ය.
4එක් පරම්පරාවක් ඊළඟ පරම්පරාවට ඔබ කළ දෑ වර්ණනා කරනු ඇත;
ඔබගේ පරාක්‍රමවත් ක්‍රියා ගැන ඔවුන් ප්‍රකාශ කරනු ඇත.
5ඔබගේ රාජත්වයේ තේජවත් ශෝභාශ්‍රීය මත,
ඔබගේ ආශ්චර්යවත් ක්‍රියා මත මම භාවනා කරන්නෙමි.
6ඔබගේ බියජනක ක්‍රියාවල බලය ගැන ඔවුන් පවසනු ඇත;
මම ඔබගේ උත්තම ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි.
7ඔබගේ අධික යහගුණයේ කීර්තිය ඔවුහු තව තව පතුරුවති,
ඔබගේ ධර්මිෂ්ඨත්වය හඬ නගා ගායනා කරති.
8 ස්වාමින්වහන්සේ දයාන්විත ය, අනුකම්පා සහගත ය;
වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අනූන ය.
9 ස්වාමින්වහන්සේ හැම දෙනාට ම යහපත් ය;
උන්වහන්සේගේ දයාව, උන්වහන්සේ නිම වූ සියල්ලන්ට ම ය.
10ඔබගේ සියලු වැඩ, ඔබට ප්‍රශංසා කරයි, අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ සියලු ශුද්ධවත්හු#145:10 ශුද්ධවත්හු එනම් විශ්වාසවන්ත ජනයා ඔබට පැසසුම් දෙන්නෝ ය.
11ඔබගේ රාජ්‍යයේ තේජස ගැන ඔවුන් පවසනු ඇත;
ඔබගේ බලය ගැන කතා කරනු ඇත.
12එසේ කරන්නේ, ඔබගේ පරාක්‍රමවත් ක්‍රියා ද
ඔබගේ රාජ්‍යයේ තේජවත් ශෝභාශ්‍රීය ද ගැන සියලු මිනිසුන් දැනුවත් කරනා පිණිස ය.
13ඔබගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි;
ඔබගේ ආධිපත්‍යය සියලු පරම්පරා දක්වා පවතී.
ස්වකීය හැම වචනයකට ම විශ්වසනීය වූ ස්වාමින්වහන්සේ
තමාගේ සියලු වැඩවලට විශ්වාසවන්ත ය.
14 ස්වාමින්වහන්සේ වැටෙන සියල්ලන් උසුලන සේක;
යටත් කරනු ලැබූ සියල්ලන් ඔසවන සේක.
15සියල්ලන්ගේ ඇස් ඔබ දෙස බලා සිටී;
නිසි වෙලාවට ඔබ ඔවුන්ගේ අහර සපයා දෙන සේක.
16ඔබ නො මසුරු ව දෑත විදහා
ජීවත් වන හැමගේ මනදොළ සපුරාලන සේක.
17ස්වකීය හැම මාර්ගයක ම ස්වාමින්වහන්සේ, ධර්මිෂ්ඨ ය.
තමන් සෑදූ සියල්ලට ම විශ්වාසවන්ත ය.
18තමන්වහන්සේට යාච්ඤා කරන සියල්ලනට
සැබෑවට තමන්වහන්සේට යාච්ඤා කරන සියල්ලනට ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක.
19තමන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන්ගේ සිත්හි ආශාව ඉටු කර දෙන උන්වහන්සේ,
ඔවුන්ගේ මොර ගැසීම අසා ඔවුන් ගලවන සේක.
20තමනට ප්‍රේම කරන සියල්ලන් ගැන ස්වාමින්වහන්සේ සැලකිලිමත් වන සේක.
එහෙත්, උන්වහන්සේ සියලු ම දුෂ්ටයින් විනාශ කර දමන සේක.
21මගේ මුඛය ස්වාමින්වහන්සේගේ ප්‍රශංසාව පවසන්නේ ය;
ජීවත් වන සියල්ලෝ උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය
සදහට, සදාතනික ව පැසසුම් කරත්වා.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 145: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න