හිතෝපදේශ 29

29
1බොහෝ වාරයක් තරවටු ලද නමුදු, දිගින් දිගට ම මුරණ්ඩු ව සිටින මිනිසා,
පිළියමකට ඉඩ නො ලැබ ම විනාශ වන්නේ ය.
2ධර්මිෂ්ඨයින් වැඩි වන කල, ජනයා ප්‍රීති වෙති;
අධර්මිෂ්ඨයින් ආණ්ඩු කරන කල, ජනයා සුසුම්ලති.
3ප්‍රඥාවට ලැදිවන්නා, තම පියාට ප්‍රීතිය ගෙන එයි;
එහෙත් වෙසඟනන්ගේ ඇසුරට පත්වන්නා, ඔහුගේ ධනය නැති නාස්ති කර දමයි.
4යුක්තිය ඉටු කරන රජු, දේශයට ස්ථාවරත්වය ගෙනේ;
එහෙත් තුටු පඬුරුවලට ගිජු තැනැත්තා, එය බිඳ හෙළයි.
5චාටු කතාවෙන් තම අසල්වැසියා වර්ණනා කරන්නා,
ඔහුගේ පයට දැලක් එළයි.
6දුෂ්ටයෝ තමන්ගේ ම පාපයේ උගුලට කොටු වෙති;
එහෙත් ගී ගයමින් ප්‍රීතිවීමට ධර්මිෂ්ඨයාට හැකි ය.
7ධර්මිෂ්ඨයා, දිළිඳුන්ගේ අයිතිවාසිකම් සැලකිල්ලට ගනියි;
එහෙත් අධර්මිෂ්ඨයාට ඒවායේ වගක් නැත.
8නින්දාකරන්නෝ නගරය තුළ කලබල අවුස්සති;
එහෙත් ප්‍රඥාවත්හු කෝපය නිවා දමති.
9ප්‍රඥාවන්තයකු, අඥානයකුට එරෙහිව උසාවි ගියහොත්,
අඥානයා වියරු වී, සමච්චල් කරන්නට වන් කල සමථයකට පත්වීමක් නැත.
10ලේ පිපාසිතයෝ නිදොස් මිනිසුන්ට වෛර කරමින්,
ඒ අවංක මිනිසුන් මරා දමන්නට වැර දරති.
11අඥානයා තම කෝපය මුළුමනින් පිට කරයි;
එහෙත් ප්‍රඥාවන්තයා තමා පාලනය කර ගනියි.
12පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දේ නම්,
ඔහුගේ සියලු නිලධාරීහු නපුරන් වෙති.
13දිළින්දාට ද පීඩකයාට ද පොදු වූ දෙයක් ඇත;
දෙදෙනාගේ ඇස්වලට පෙනීම දෙන්නේ ස්වාමින්වහන්සේ ය.
14යුක්තියේ පිහිටා, දිළිඳුන් විනිශ්චය කරන රජුගේ සිංහාසනය,
සදහට ම ස්ථිර වන්නේ ය.
15වරද හරිගැස්සීමේ වේවැල, ප්‍රඥාව ගෙන ඒ;
එහෙත් ස්ව-කැමැත්තට අත්හරින ලද දරුවා, ඔහුගේ මවට නින්දාව ගෙන දේ.
16දුෂ්ටයින් වැඩි වන කල, අපරාධ ද වැඩි වෙයි;
එහෙත් ඔවුන්ගේ වැටීම ධර්මිෂ්ඨයින් දකිනු ඇත.
17ඔබගේ පුත්‍රයා හික්මවන්න, එවිට ඔහු ඔබට සාමය ගෙන දෙනු ඇත;
ඔහු ඔබට සන්තෝෂය ද ගෙනෙනු ඇත.
18දර්ශනයක් නැති තැන ජනයා සංවරවීම අතැර දමති;
එහෙත් ව්‍යවස්ථාව රකින්නෝ භාග්‍යවත් ය.
19වචනවලින් පමණක් සේවකයෙක් හික්මවිය නො හැක;
ඔහුට තේරුම් ගියත්, ඔහු ඊට ප්‍රතිචාර නො දක්වයි.
20කතාවට ඉක්මන් වන කෙනකු ඔබ දැක තිබෙනවා ද?
ඔහුට වඩා වැඩි බලාපොරොත්තුවක් අඥානයකුට ඇත.
21මෙහෙකරුවකුට ඔහුගේ බාල වියේ පටන් අධික සැප සලසා දෙන්නාට
අවසානයේදී ඔහුගෙන් හිමි වන්නේ ශෝකය ය.#29:21 “අවසානයේදී ඔහු උරුමක්කාරයෙක් වන්නේ ය” ලෙස ද කියවිය හැක.
22කෝප වූ මිනිසා ආරවුල් අවුස්සයි;
වහා කිපෙන මිනිසා බොහෝ පව් කරයි.
23කෙනකුගේ අහංකාරය ඔහු පහතට ඇද දමයි;
එහෙත් යටහත්-පහත් තැනැත්තා ගරු බුහුමන් ලබයි.
24හොරෙකුට හවුල්වන්නා, තමාට ම හතුරුකමක් කර ගනී;
ඔහු ඇත්ත කීවොත් දඬුවම් ලබයි; නො කීවොත් ශාපය ඔහු පිට ය.
25මිනිසුන්ට භයවීම උගුලකට හසුවීමකි;
එහෙත් ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා සුරක්ෂිත ය.
26බොහෝ දෙනා පාලකයාගේ අනුග්‍රහය සොයති;
එහෙත් මනුෂ්‍යයාට යුක්තිය ඉෂ්ට වන්නේ, ස්වාමින්වහන්සේගෙනි.
27ධර්මිෂ්ඨයින්ට වංක මිනිසා පිළිකුලක් ය;
අධර්මිෂ්ඨයින්ට අවංක මිනිසා පිළිකුලක් ය.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 29: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න