හිතෝපදේශ 24:1-22

හිතෝපදේශ 24:1-22 SCV

දුෂ්ට මිනිසුන්ට ඊර්ෂ්‍යා නො කරන්න; ඔවුන්ගේ ඇසුරට ආශා නො කරන්න. මන්ද ඔවුන්ගේ හදවත් සැහැසි උපක්‍රම යොදයි; ඔවුන්ගේ තොල්වල කතාව විපත් හටගැන්වීමට ය. ගෙයක් ගොඩ නගන්නේ ප්‍රඥාවෙනි; එය ස්ථාපන වන්නේ අවබෝධයෙනි. එහි කාමර විශිෂ්ට වූත්, අලංකාර වූත් වස්තුවෙන් පුරවනු ලබන්නේ බුද්ධියෙනි. ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට මහ බලයක් ඇත; බුද්ධිමතා ශක්තිය වැඩි කර ගනියි. යුද්ධ වැදීමට ඔබට මග පෙන්වීමක් ද ජය ගැනීමට උපදෙස් දෙන්නන් බොහෝ දෙනකු ද අවශ්‍ය ය. ප්‍රඥාව අඥානයකුට උසස් වැඩි ය; පුර දොරටු ප්‍රජා පොළේදී කීමට කිසිවක් ඔහුට නැත. දුෂ්ට උපා සැලසුම් කරන්නාට “කූටෝපකාරයා යැ” යි කියනු ලැබේ. මෝඩයින්ගේ යෝජනා පාපය ය; ගැරහුම්කරුවකු ජනයාට පිළිකුල් ය. අර්බුදකාරී අවස්ථාවලදී ඔබ පසුබට වේ නම්, ඔබගේ ශක්තිය කොතරම් අල්ප ද! මරණයට ගෙන යනු ලබන්නන් මුදා ගන්න; මරනු ලබන්නට ගාට ගාටා යන්නවුන් ඉන් වළක්වන්න. “මේ මොකවත් අප දන්නේ නැතැ” යි ඔබ කියන්නේ නම්, හදවත් කිරා බලන තැනැන්වහන්සේ එය නො දක්නා සේක් ද? ඔබගේ ජීවිතය සුරකින තැනැන්වහන්සේ එය නො දන්නා සේක් ද? එක් එක් මිනිසාට ඔහු කළ දේ අනුව ප්‍රතිවිපාක නො දෙන සේක් ද? මී පැණි කන්න මා පුත, මන්ද එය හොඳ ය; මී-වදයේ පැණි රසයෙන් මිහිරි ය. ප්‍රඥාව ද ඔබේ ජීවිතයට මිහිරි වග දැනගන්න; ඔබට එය හමු වුණොත්, අනාගත බලාපොරොත්තුවක් ඔබට ඇත. ඔබගේ ඒ බලාපොරොත්තුව සිඳ-බිඳ නො දැමේ. ධර්මිෂ්ඨ මිනිසකුගේ නිවසට එරෙහිව අපරාධකරුවකු සේ රැක සිටීමක් නො කරන්න; ඔහුගේ වාසස්ථානය කොල්ලකෑමෙන් වළකින්න. මන්ද, ධර්මිෂ්ඨයා හත් වාරයක් වැටුණත්, නැගිටින්නේ ය. එහෙත් අධර්මිෂ්ඨයා විපත්තිවලින් වැටී යන්නේ ය. ඔබගේ සතුරා වැටී ගිය කල, උදාරම් නො වන්න; ඔහු පැකිළී යන කල ඔබේ හදවතින් ප්‍රීති නො වන්න. නැතහොත් ස්වාමින්වහන්සේ ඒ දැක නො සතුටු වී, උන්වහන්සේගේ උදහස ඔහු වෙතින් ඉවත් කර ගනු ඇත. දුෂ්ට මිනිසුන් නිසා නොරිස්සුම් නො වන්න; දුෂ්ටයන් ගැන ඊර්ෂ්‍යා නො කරන්න. මන්ද දුෂ්ට මිනිසුනට අනාගත බලාපොරොත්තුවක් නැත; දුෂ්ටයින්ගේ පහන ද නිවා දමනු ලැබේ. ස්වාමින්වහන්සේට ද රජ්ජුරුවන්ට ද භය පක්ෂපාත වන්න; කැරලිකරුවන් සමඟ එක් නො වන්න. මන්ද ඒ දෙදෙනා ඔවුන් පිට හදිසි විනාශයක් එවනු ඇත; කවර විපත්තියක් එවනු ඇද්දැයි දන්නේ කවුරු ද?

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 24:1-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය