හිතෝපදේශ 22

22
1මහා ධනයකට වඩා හොඳ නම උතුම් ය;
රන් රිදීවලට වඩා කරුණාව පිළිගනු ලැබීම උතුම් ය.
2පෙහොසතාට ද දුප්පතාට ද පොදු වූ දෙයක් ඇත;
ඔවුන් හැමගේ මැවුම්කරුවාණෝ ස්වාමින්වහන්සේ ය.
3නුවණක්කාරයා අනතුර දැක රැකවරණයක් ලබයි;
එහෙත් අනුවණයා ඊට මුහුණ පා දුක් කරදර විඳවයි.
4නිහතමානීත්වය හා ස්වාමින්වහන්සේට භයවීමේ ඉටු විපාකය
ධන සම්පත් ද ගරු බුහුමන් ද ජීවනය ද වේ.
5දුෂ්ටයින්ගේ මාවත්වල කටු ගස් ද මර උගුල් ද වේ;
එහෙත් තමා ගැන පරෙස්සම්වන්නා ඒවායින් ඈත් ව සිටී.
6දරුවකු ඔහු යා යුතු මාර්ගයෙහි පුහුණු කරන්න;
එවිට මහලු වියේදීත්, ඔහු ඉන් ඉවත් ව නො යයි.
7පොහොසත්තු, දුප්පතුන් ආණ්ඩු කරති;
ණයට ගන්නා, ණයට දෙන්නාගේ සේවකයින් බවට පත් වෙති.
8අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගනියි;
ඔහුගේ උදහසේ ආයුධය ව්‍යර්ථ වේ.
9ත්‍යාගවන්ත මිනිසාට ආශිර්වාදය ලැබේ;
මන්ද ඔහු තම ආහාර, දුප්පතුන් සමඟ බෙදාගනියි.
10ගරහන්නා පලවා හරින්න, එවිට කලහ නැති වේ;
ආරවුල් හා අවලාද නිමාවට පත් වේ.
11පිරිසිදු හදක් ඇති ව සිටීමට ඇලුම් කරන, ප්‍රසන්න කතාවෙන් යුත් අයට
රජ්ජුරුවන් මිත්‍රයෙක් ය.
12 ස්වාමින්වහන්සේගේ ඇස් බුද්ධිමතුන් රක්ෂා කරන්නේ ය;
එහෙත් ද්‍රෝහීන්ගේ කතාව හෙළා දකී.
13“අන්න පිටත සිංහයෙක් සිටී;
පාරට ගියොත් මා මරා දමනු ඇතැ” යි අලසයා පවසයි.
14පරදාරකම් කරන්නියගේ මුව ගැඹුරු වළකි;
ස්වාමින්වහන්සේගේ උදහසට පාත්‍ර වූවෝ, එහි ඇද වැටෙති.
15මෝඩකම් කිරීම ළමා-විය හා බැඳී පවතී;
එහෙත් ශික්ෂණයේ වේවැල එය ඔහු වෙතින් දුරු කරයි.
16වඩ වඩා ධනවත්වීමට දුප්පතුන් පෙළන්නාත්,
ධනවතුන්ට තෑගි-බෝග පුදන්නාත් දුප්පත්කමට වැටේ.
ප්‍රඥාවන්තයින්ගේ උපදේශ තිහ
උපදේශ 1
17සාවධාන ව, ප්‍රඥාවතුන්ගේ උපදේශවලට සවන් දෙන්න;
මා උගන්වන දෑ සිතට ගන්න.
18ඔබගේ තොල් අතරින් පැවසෙන ඒ හැම සූදානමින්
ඔබගේ හදවතේ නිදන් කර තබා ගන්නේ නම් එය ප්‍රීති සහගත වනු ඇත.
19ඔබගේ විශ්වාසය ස්වාමින්වහන්සේ තුළ තබන පිණිස
මම ඒවා ඔබට, අද ඔබට ම කියා දෙන්නෙමි.
20ඔබ උදෙසා උපදේශ තිහක් මා ලියා තිබෙනවා නො වේ ද,
ඒවා දැනමුතුකමේ සහ දැනගැන්මේ උපදේශයන් ය.
21ඔබ මෙහි එවූ අයට විශ්වසනීය පිළිතුරු දිය හැකි වන පිණිස
ඔබට සත්‍ය වූ,
විශ්වසනීය වූ වචන උගන්වන්නෙමි.
උපදේශ 2
22දුප්පතුන්ගෙන් අයුතු ප්‍රයෝජන නො ගන්න, මන්ද ඔවුන් දුප්පත් ය;
යුක්තිය පසිඳලීමේදී අසරණයා පීඩාවට පත් නො කරන්න.
23මන්ද ස්වාමින්වහන්සේ ඔවුන් වෙනුවෙන් පෙනී සිට,
ඔවුන්ගෙන් පැහැරගත්තවුන්ගේ ජීවිතය පැහැර ගැනීමට ලක් කරන සේක.
උපදේශ 3
24වහා කිපෙන සුළු මිනිසකු හා මිතුරු නො වන්න;
නිකම්ම තරහ යන කෙනකුගේ ඇසුරට නො යන්න.
25නැතහොත් ඔබත් ඔහුගේ එම ගති-මාර්ග ඉගෙන,
ඔබ ම උගුලක හිරවනු ඇත.
උපදේශ 4
26උගසකට සහතික කරන්නකු නො වන්න;
ණයකරුවකුට ඇපකරුවකු නො වන්න.
27යම් හෙයකින් ඒවා ගෙවන්නට ඔබට නො හැකි වූවොත්,
ඔබේ යහන පවා ඔබෙන් උදුරාගෙන යනු ඇත.
උපදේශ 5
28ඔබගේ මුතුන් මිත්තන් පිහිටෙවු
පුරාණ මායිම් ගල් වෙනස් නො කරන්න.
උපදේශ 6
29තමාගේ කාරියෙහි නිපුණ මිනිසකු ඔබ දුටුවා ද?
ඔහු රජුන් ඉදිරියෙහි සේවය කරනු ඇත;
ඔහු පහත් ජනයා ඉදිරියේ සේවය කරන්නේ නැත.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 22: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න