හිතෝපදේශ 12:1-18

හිතෝපදේශ 12:1-18 SCV

ශික්ෂණයට ප්‍රේමවන්නා දැනුමට ප්‍රේම කරයි; නිවැරදිවීමට වෛරවන්නා මෝඩයෙකි. සුදනා ස්වාමින්වහන්සේගෙන් ප්‍රසාදය ලබයි; එහෙත් උන්වහන්සේ දුදනා වරදට පත් කරන සේක. දුෂ්ටකමින් කෙනකුට ස්ථාවර ව පිහිටා සිටින්නට බැරි ය. එහෙත් ධර්මිෂ්ඨයින් මුලිනුදුරා දැමිය නො හැකි ය. ගුණ යහපත් බිරිඳ ඇගේ සැමියාගේ ඔටුන්න ය; එහෙත් නින්දා සහගත බිරිඳ ඔහුගේ ඇටකටු දිරා-යෑමක් බඳු ය. දමිටුන්ගේ සැලසුම් යුක්ති සහගත ය; එහෙත් අදමිටුවකුගේ අවවාදය වංචා සහගත ය. දුෂ්ටයින්ගේ වචන ලේ හැලුමට මග රැක සිටීමකි; එහෙත් ඍජු ගති ඇත්තන්ගේ කතාව ජීවිත ගලවයි. දුෂ්ට මිනිස්සු පැරදී, නැත්තට ම නැති වී යති; එහෙත් ධර්මිෂ්ඨයින්ගේ වංශය, ස්ථාවර ව පිහිටයි. මිනිසකු තම විචක්ෂණ බුද්ධියට අනුව පැසසුම් ලබයි; එහෙත් වංක සිත් ඇත්තා පිළිකුලට ලක් වේ. ලොක්කකු සේ මවා පාමින් කන්නට යමක් නැතිව සිටිනවාට වඩා, නොවැදගතකු සේ සිටිමින්, තමන්ට ම සේවකයකු ඇති ව සිටීම වඩා හොඳ ය. දමිටු මිනිසා තම සතුන්ගේ ඕනෑ-එපාකම් ද බලයි; එහෙත් දුෂ්ට මිනිසකුගේ කාරුණික ක්‍රියා ද කුරිරු ය. තම බිම් කොටස වගාකරන්නාට ආහාර බහුල වේ; එහෙත් මවා ගත් හීන පසු පස යන්නෝ සිහි මද ඇත්තෝ ය. නපුරන්ගේ කොල්ලයට දුෂ්ටයෝ ආශා වෙති; එහෙත් දමිටුන් මුල් ඇද පිහිටයි. අදමිටු මිනිසා තම පාපී කතාවෙන් උගුලට හසු වේ; එහෙත් දමිටු මිනිසා කරදරවලින් ගැලවී යයි. කෙනෙක් තම තොල්වල පල නිසා යහ දෙයින් පිරෙන්නේ, ඔහුගේ අත්වල ශ්‍රමයට සරිලන ප්‍රතිඵල ලබන පරිදි ය. අඥානයකුට තමාගේ මාර්ගය හරියයි පෙනේ; එහෙත් නැණවතා අවවාදයට කන් දෙයි. අඥානයා තම නොරිස්සුම එවෙලේම පෙන්වයි; එහෙත් බුද්ධිමතා නිග්‍රහ ගණන් නො ගනී. ඇත්ත කතා කරන්නා අවංක ව සාක්ෂි දෙයි; බොරු සාක්ෂිකරු පවසන්නේ මුසා ය. නො සැලකිලිමත් වචන කඩු පහරක් මෙන් ඇනෙයි; එහෙත් ප්‍රඥාවත් අයගේ දිව, සුවය ගෙනේ.

මෙයට අදාළ වීඩියෝ