යූද් 1

1
1යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද යාකොබ්ගේ සොහොයුරා ද වන යූද් වෙතිනි;
පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ තුළ ප්‍රේමණීයයන් වීමට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සුරක්ෂිත ව තැබීමට කැඳවුම් ලද්දවුන් වෙතයි.
2දයාව, සාමය හා ප්‍රේමය වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා!
හොර රහසේ ඇතුළු වූවෝ
3ප්‍රේමණීයයනි, අප පංගුකාර ව සිටින ගැලවීම පිළිබඳව ඔබට ලියා එවන්නට ලොකු ඕනෑකමක් තිබුණ ද, එක් වරක් ම ශුද්ධවතුනට බාර දෙන ලද ඇදහිල්ල සඳහා සටන් වදින ලෙස ඉල්ලමින් ඔබට ලිවීම අවශ්‍යමැයි මට හැඟිණ. 4මන්ද ඈත අතීතයේදී, මේ දඬුවමට නියම කරනු ලැබූ ඇතැම් දෙනෙක් හොර රහසේ ඔබ අතරට රිංගාගෙන සිටින බැවිනි. අභක්තිකයින් වූ ඔවුහු අපගේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, දුරාචාරය සඳහා වූ බලපත්‍රයකට හරවාගෙන, අපගේ එක ම ස්වාමියාණන් ද පරමාධිපතියාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රතික්ෂේප කරති.
5ඔබ මෙය මුළුමනින් දැන සිටියත්, මේවා ඔබට මතක් කර දෙන්නට කැමැත්තෙමි; එක් වරක් ස්වාමින්වහන්සේ ජනතාවක් ඊජිප්තු දේශයෙන් මුදා, විශ්වාස නො කළවුන් පසුව විනාශ කර දැමූ වග 6හා තමන් ලත් අධිපති නිලයේ නො පැවත, තමන්ට නියමිත නිවහන් අත් හළ දේව දූතයින්, ඒ මහා දවසේ විනිශ්චය සඳහා සදාතන බැඳුමින් බඳිනු ලැබ, අන්ධකාරය යට උන්වහන්සේ විසින් රඳවා තබා ඇති වග ය. 7එලෙස ම, සොදොම හා ගොමොරාව හා ඒ අවට නගර ලිංගික දුරාචාරයටත්, විකෘති තෘෂ්ණාවනටත් තමන් ම පාවා දී, සදාතන ගින්නේ දඬුවම විඳිමින් ආදර්ශයක් වී සිටිති.
8එලෙස මොවුහු ද තමන්ගේ සිහිනවල එල්බගෙන, මාංසය දූෂ්‍ය කර ගනිති; ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරති; ශ්‍රේෂ්ඨයින්ට එරෙහිව නින්දා අපහාස කරති. 9එහෙත් අග්‍ර දේව දූත මිකායෙල් පවා මෝසෙස්ගේ මිනිය ගැන යක්ෂයා සමඟ වූ ආරවුලේදී වාද කරන විට, අපහාසාත්මක ව චෝදනා කරන්නට එඩිතර නො වී, “ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේකැ” යි කීවේ ය. 10එහෙත් මොවුහු තමනට නො වැටහෙන හැම දේට අපහාස කරති. සිහිමොලේ නැති තිරිසනුන්ට මෙන් සහජයෙන් ඔවුනට වැටහෙන දෑවලින් ඔවුන් විනාශ කර දැමේ.
11ඔවුන්ට වන විපතක මහත! මන්ද කායින්ගේ මාර්ගයේ ගමන් ගන්නා ඔවුහු, වාසියට ගිජු ව බාලාම්ගේ වරදේ අතරමං ව, කෝරාගේ කැරැල්ලේදී විනාශ වූහ.
12මොවුහු ඔබගේ ප්‍රේම මංගල්‍යවල ලප කැළැල් ය; බය නැතිව ඔබ සමඟ අහර බුදින මොවුහු තමන් පමණක් පෝෂ්‍ය කර ගන්නා එඬේරු ය. සුළඟට ගසා ගෙන යන ජලය නැති වලාකුළු ය; දෙවරක් මැරුණු, මුලිනුදුරා දමනු ලැබූ, පල වාරයේ පල නො දැරූ ගස් ය. 13තම නිර්ලජ්ජිත පෙණ නංවන මුහුදේ සැඩ රැළි ය. මංමුළා වූ තාරකා ය. ඝන අන්ධකාරයේ කළුවර සදහට ම ඔවුන්ට වෙන් කර ඇත.
14ආදම්ගෙන් පටන් හත්වැන්නා වූ ඒනොක්, මොවුන් ගැන දිවැසි වැකියෙන් මෙසේ කියා තිබේ: “අන්න! දස දහස් ගණන් තම ශුද්ධවතුන් සමඟ ස්වාමින්වහන්සේ එන්නේ, 15සියල්ලන්ට ම විනිශ්චය තීන්දු කිරීමටත්, සියල්ලන්, ඒ සා අභක්තික මාර්ගවලින් කරන ලද සියලු අභක්තික ක්‍රියා ගැන හා උන්වහන්සේට එරෙහිව අභක්තික පව්කරුවන් පවසන ලද සියලු රළු කියුම් ගැන ඔවුන් වරදකරුවන් කිරීමටත් ය.”#1:15 ක්‍රි. පූ. පළමුවෙනි සියවසේ පමණ ලේඛනගත යුදෙව් පළමු වන ඒනොක් පොතෙන් උපුටා ගෙන ඇත. 16මොවුහු මැසිවිලි නගන්නෝ ය; කොඳුරන්නෝ ය; තමන්ගේ ම දුෂ්ට තෘෂ්ණා අනුව යන්නෝ ය; මොවුහු තම වාසිය තකා පක්ෂවාදී, වාචාල පුරසාරම්කරුවෝ ය.
කැඳවීමේ ඔවදන්
17එහෙත් ප්‍රේමණීයයනි, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අපෝස්තුලුවරුන් කලින් කියන ලද වචන සිහි කරන්න. 18ඔවුන් ඔබට පැවසුවේ, “තමන්ගේ ම අභක්තික තෘෂ්ණා අනුව යන ගරහන්නන් අවසන් දවස්හි පැමිණෙනු ඇත” කියා ය. 19බෙදුම් ඇති කරන්නේ ජම්මික මනසින් යුතු වූ, ආත්මයාණන්ගෙන් තොර වූ මොවුහු ම ය.
20එහෙත් ප්‍රේමණීයයනි ඔබ, ඔබගේ අතිශුද්ධ වූ ඇදහිල්ල තුළ ඔබ ම වර්ධනය කර ගන්න; ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ යාච්ඤා කරන්න. 21සදාතන ජීවනයට ඔබ ගෙන යන යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දයාව බලා හිඳිමින් දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි ඔබ ම පැවත සිටින්න.
22සැක ශංකා ඇත්තවුනට අනුකම්පා කරන්න. 23ගින්නෙන් ඉවතට ඇද අන්‍යයන් ගලවන්න. මාංසයෙන් කැළැල් වූ ඇඳුමට පවා ද්වේෂ කරමින්, බයින් යුතු ව අන් අයට දයාව පාන්න.
ආශිංසනය
24පැකිළීමෙන් ඔබ වළකාගන්නටත්, මහා ප්‍රීතියකින් ස්වකීය තේජවත් අභිමුඛයට දෝෂ රහිත ව ඔබ පමුණුවන්නටත් සමත් තැනැන්වහන්සේට, 25අප ගැලවුම්කාර එක ම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් තේජෝ මහිමයත්, පරාක්‍රමයත්, බලයත්, ආධිපත්‍යයත් සියලු කාලවලට පෙරත්, දැනුත්, සදහටත් වේවා! ආමෙන්.

දැනට තෝරාගෙන ඇත:

යූද් 1: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න