3 යොහන් 1

1
1සභා-මූලිකයා වෙතින්,
සත්‍යතාවෙහි මා ප්‍රේම කරන ප්‍රේමණීය ගායස් වෙත.
2ප්‍රේමණීයය, ඔබ ආත්මයෙන් සඵල ව සිටින අයුරින්, අන් සියල්ලේදීත් සඵල වන ලෙස හා ඔබ නිරෝගී සුවයෙන් සිටින ලෙස, මම යාච්ඤා කරමි. 3මන්ද ඔබගේ විශ්වාසවන්තකම හා සත්‍යයෙහි ඔබ පවතින අයුරු ගැන මෙහි පැමිණි සහෝදරයින්ගෙන් අසන්නට ලැබීම මට මහත් ප්‍රීතියකි. 4මගේ දරුවන් සත්‍යයෙහි පැවත සිටින වග ඇසීමට වඩා මහා ප්‍රීතියක් මට නැත.
5ප්‍රේමණීයය, ඔබට මේ සහෝදරයින් අමුත්තන් වුව ද, ඔවුන් උදෙසා ඔබ කරන සියලු දෑ විශ්වසනීය ය. 6ඔබගේ ප්‍රේමය ගැන ඔවුහු සභාව ඉදිරියේ සාක්ෂි දැරූහ. දෙවියන්වහන්සේට ඔබින පරිද්දෙන්, ඔබ ඔවුන්ගේ ගමනට උපකාර කරන්නේ නම් යහපති. 7මන්ද අන්‍ය-ජාතීන්ගෙන් කිසිවක් නො පිළිගනිමින් ඔවුන් පිටත් ව ගියේ, (උන්වහන්සේගේ) නාමය උදෙසා ය. 8එබැවින් සත්‍යය උදෙසා හවුල් වැඩකරුවන් වන පිණිස, එබඳු අයට අප උපකාර කළ යුතු ම ය.
9මා සභාවට ලියා යැවූ නමුදු මූලිකයා වීමට කැමති දියෝත්‍රපස් අප නො පිළිගනී. 10එබැවින් මා පැමිණියහොත්, අපට එරෙහිව ඔහු නගන නපුරු කතා එළි කරන්නෙමි. ඔහු එයින් ද නො සෑහී සහෝදරයින් පිළිගැනීම ද ප්‍රතික්ෂේප කරයි; එසේ පිළිගන්නට කැමති වූවන් ද වළකමින් ඔවුන් සභාවෙන් නෙරපා හරියි.
11ප්‍රේමණීයය, නො හොඳ අනුගමන නො කර, හොඳ දෑ අනුගමන කරන්න. හොඳ කරන්නා දෙවියන්වහන්සේගෙනි. නපුර කරන කවරකු වුව ද දෙවියන්වහන්සේ දැක නැත. 12දෙමිත්‍රියස් ගැන සැවොම හොඳ කියති. සත්‍යය පවා එය සනාථ කරයි. අපත්, අපගේ සාක්ෂිය ඊට එකතු කරන්නෙමු. අපගේ සාක්ෂිය සත්‍ය වග ඔබ දනී.
13ඔබට ලියන්නට බොහෝ දේ මට තිබේ. එහෙත් පෑනෙන් හා තීන්තෙන් එය කරන්නට නො කැමැත්තෙමි. 14ඉතා ඉක්මනින් ඔබ හමුවට ඒමට බලාපොරොත්තු වෙමි. එවිට මුහුණට මුහුණ ලා කතා කරන්නට හැකි වෙයි.
15ඔබට සාමය වේවා!
මෙහි සිටින මිතුරෝ ඔබට ආචාර කරති. නම් වශයෙන් මිතුරන් හැම කෙනකුට ම ආචාර කරන්න.

දැනට තෝරාගෙන ඇත:

3 යොහන් 1: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න