යෝෂුවා 22
22
නැගෙනහිර පදිංචි ගෝත්‍ර තම උරුමයට ආපසු යෑම
1ඉන්පසු යෝෂුවා, රූබෙන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේ ගෝත්‍ර අර්ධය ද කැඳවා, 2ඔවුන් අමතමින්, “ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔබට අණ කළ සියල්ල ඔබ ඉටු කර ඇත. මා අණ කළ සියල්ලේදීත් ඔබ මගේ කටහඬට කීකරු වුණා. 3මේ දිගු කාලය, මේ අද දවස දක්වා ඔබ, ඔබේ සහෝදරයින් අත්හැර නො ගොස්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පැවරූ කාරිය ඔබ ඉටු කර තිබේ. 4ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ පරිදි ඔබේ සහෝදරයින්ට දැන් විවේකය දී ඇති බැවින්, ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් යොර්දානෙන් එතෙර ඔබට දුන් ඔබේ උරුමය වූ දේශයේ ඔබේ කූඩාරම්වලට හැරී යන්න. 5එහෙත් ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔබට ආඥා කළ ආඥාව හා ව්‍යවස්ථාව පවත්වන්නට තදින් හිතට ගන්න. එනම් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නටත්, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන්වහන්සේගේ ආඥාවලට කීකරු වන්නටත්, උන්වහන්සේට බොහෝ ඇලුම් ව, ඔබේ මුළු හදින් ද ඔබේ මුළු ජීවයෙන් ද උන්වහන්සේට මෙහෙ කරන්නටත් යැ” යි කීවේ ය.
6ඉන්පසු යෝෂුවා ඔවුන්ට ආශිර්වාද කර, ඔවුන් පිටත් කර හැරියේ ය. ඔවුහු තම කූඩාරම් කරා ගියහ. 7තවද මනස්සේ ගෝත්‍ර එක් අර්ධයකට මෝසෙස්, බාෂාන්හි උරුමයක් දී තිබිණි. එහෙත් අනෙක් ගෝත්‍ර අර්ධයට ඔවුන්ගේ සහෝදරයන් අතරේ යොර්දානෙන් බටහිර ප්‍රදේශයෙන් යෝෂුවා උරුමයක් දුන්නේ ය. යෝෂුවා ඔවුන්ගේ නිවෙස් කරා ඔවුන් යවන කල, ඔවුන්ට ආශිර්වාද කරමින්, 8ඔහු පැවසුවේ, “මහත් ධන සම්භාරයත්, විශාල පශු සම්පතත්, රිදී, රත්රන්, ලෝකඩ හා යකඩත්, ඇඳුම් මහා තොගයත් ගෙන, ඔබේ කූඩාරම්වලට යන්න. ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය, ඔබේ නෑසියන් සමඟ බෙදා ගන්නැ” යි කියා ය.
9එබැවින් රූබෙන්වරු, ගාද්වරු හා මනස්සේ ගෝත්‍ර අර්ධය, ස්වාමින්වහන්සේ මෝසෙස් මගින් අණ කළ ලෙස, තමන් අත්කර ගත් තමන්ගේ දේශය වූ ගිලියාද් වෙත යන පිණිස, කානාන් දේශයේ ෂීලෝහි දී ඉශ්රායෙල්වරුන්ගෙන් සමුගෙන ආපසු ගෙදර ගියහ.
10ඔවුහු කානාන් දේශයේ යොර්දාන් අසබඩ ගෙලීලොත්ට ආ කල, රූබෙන්වරු, ගාද්වරු හා මනස්සේ ගෝත්‍ර අර්ධයේ ජනයා යොර්දාන් සමීපයේ පූජාසනයක් ඉදි කළහ. එය දැකීමට මහත් පූජාසනයකි. 11එවිට කානාන් දේශ සීමාවේ ඉශ්රායෙල්වරුන්ට අයත් පැත්තේ, යොර්දාන් අසබඩ ගෙලීලොත්හි ඔවුන් පූජාසනයක් ඉදි කොට ඇති වග ඉශ්රායෙල් ජනයාට අසන්නට ලැබිණ. 12ඉශ්රායෙල් ජනයා ඒ ඇසූ කල, මුළු ඉශ්රායෙල් සමාජය ඔවුන්ට එරෙහිව යුද්ධයට යන පිණිස ෂීලෝහි දී එක් රැස් වූහ.
13එවිට ඉශ්රායෙල් ජනයා ගිලියාද් දේශයේ රූබෙන්, ගාද් හා මනස්සේ ගෝත්‍ර අර්ධය වෙත, පූජක එලෙයාසර්ගේ පුත් පීනෙහාස් යැවූහ. 14ඔහු සමඟ එක් ඉශ්රායෙල් ගෝත්‍ර වංශයකින් එක් කෙනකු වශයෙන් ඉශ්රායෙල් පෙළපත් අතරේ ප්‍රධානීන් වූ මිනිසුන් දස දෙනකු ද යැවූහ.
15ඔවුහු ගිලියාද් දේශයට රූබෙන්, ගාද් හා මනස්සේ ගෝත්‍ර වංශ අර්ධය වෙත අවුත්, කතා කොට, 16“ස්වාමින්වහන්සේගේ මුළු ජන සමාජය මෙසේ කියයි: ‘ස්වාමින්වහන්සේට එරෙහිව අද දවසේ කැරලිකාරකමින් නුඹලාට ම පූජාසනයක් තනා ගැනීමෙන්, ස්වාමින්වහන්සේ අනුව යෑමෙන් ඉවත හැරී, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට එරෙහිව නුඹලා මොකක් ද මේ කරන ද්‍රෝහිකම? 17පෙයෝර්ගේ පාපය අපට මදි ද? අද දවස දක්වා අප එයින් පවිත්‍ර වී නැත. ස්වාමින්වහන්සේගේ සමාජය පිට වසංගතයක් පැමිණුනි. 18දැන් නුඹලාත් ස්වාමින්වහන්සේ අනුව යාමෙන් ඉවත හැරී යන්නෝ ද?
“ ‘ස්වාමින්වහන්සේට එරෙහිව අද නුඹලා කැරලි ගැසුවොත්, හෙට උන්වහන්සේ මුළු ඉශ්රායෙල් සමාජය සමඟ ම කෝපවනු ඇත. 19එබැවින් දැන් නුඹලාට අයිති දේශය අපවිත්‍ර නම්, ස්වාමින්වහන්සේගේ මණ්ඩපය පිහිටා සිටින ස්වාමින්වහන්සේගේ දේශයට එගොඩට ගොස්, අප අතරේ නුඹලාට ම උරුමයක් ගන්න. එහෙත් ස්වාමින්වහන්සේට එරෙහිව කැරලිගහන්න විතරක් එපා. අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පූජාසනය හැර, වෙනත් පූජාසනයක් තනා ගැනීමෙන් අපත් කැරලිකරුවන් කරන්න එපා. 20සෙරාගේ පුත් ආකාන් කැප කළ#22:20 කැප කළ එනම් විනාශය පිණිස ස්වාමින්වහන්සේට කැප කළ දේ පිළිබඳව විශ්වාසය කඩ කිරීමෙන්, මුළු ඉශ්රායෙල් සමාජය පිට උදහස පතිත වූවා නො වේ ද? ඔහුගේ අයුතුකම හේතුවෙන් විනාශය පැමිණියේ ඔහුට පමණක් නො වේ’ යි” කීහ.
21එවිට රූබෙන්වරු, ගාද්වරු හා මනස්සේ ගෝත්‍ර අර්ධයේ ජනයා, ඉශ්රායෙල් පෙළපත් ප්‍රධානීන්ට පිළිතුරු දෙමින්, 22“දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය! දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේ ස්වාමින්වහන්සේ ය! උන්වහන්සේ දන්නා සේක. ඉශ්රායෙල් ද තුමූම එය දැනගනිත්වා! එය කැරලි ගැසීමෙන් හෝ ස්වාමින්වහන්සේට එරෙහිව විශ්වාසය බිඳීමෙන් හෝ වූවක් නම්, අද දවසේ අප ඉතිරි නො කෙරේවා! 23ස්වාමින්වහන්සේ අනුව යාමෙන් ඉවත හැරීමට හෝ දවන යාග පූජා, ධාන්‍ය පූජා නැතහොත් ශාන්ති පූජා ඔප්පු කරන්නට අප පූජාසනයක් තනා ගත්තා නම්, ස්වාමින්වහන්සේ ම ඊට පළිය ගන්නා සේක්වා!
24“නෑ එසේ නො වේ! අප එසේ කළේ මෙන්න මේ භය නිසයි; මතු යම් දවසක ඔබේ දරුවන් අපේ දරුවන් අමතා, ‘මොකක් ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සමඟ ඔබට ඇති කාරිය? 25යොර්දාන් ගඟ ස්වාමින්වහන්සේ ඔබත්, අපත් අතරේ කඩ ඉමක් කරලා; එම්බා රූබෙන්වරුනි! ගාද්වරුනි! ස්වාමින්වහන්සේ තුළ නුඹලාට පංගුකාරකමක් නැතැ’ යි පැවසිය හැකි ය; එසේ ඔබේ දරුවන් ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමෙන් අපේ දරුවන් වැළැක්විය හැකියි.
26“එනිසයි අප කීවේ, ‘අපි පූජාසනයක් ගොඩ නගමු; එහෙත්, දවන යාග පූජා හෝ යාග පූජා ඔප්පු කරන්නට නො වෙයි.’ 27ඒ වෙනුවට අප අපේ ම දවන යාග පූජා, යාග පූජා හා ශාන්ති පූජා ඇතුව ස්වාමින්වහන්සේ අබියස උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ සේවය කරන වගට එය ඔබත්, අපත් අතර ද අපට පසු මතු එන පරම්පරා අතර ද සාක්ෂියක් වන පිණිස ය. එවිට මතු යම් දිනෙක, ‘ස්වාමින්වහන්සේ තුළ නුඹලාට පංගුකාරකමක් නැතැ’ යි අපේ දරුවන්ට කියන්නට ඔබේ දරුවන්ට හැකි වන්නේ නැත.
28“තවද, අපට හෝ අපේ දරුවන්ට යම් දවසක ඔවුන් එසේ කීවොත්, අපට මෙසේ කිව හැකියි: ‘මෙන්න, අපේ පියවරුන් තැනූ, ස්වාමින්වහන්සේගේ පූජාසනයේ ආකෘතිය; බලන්න! එය දවන යාග පූජා සහ යාග පූජා ඔප්පු කරන්නට නො වේ. එය ඔබත්, අපත් අතරේ සාක්ෂියකි’ යි කියන්නට අපට පුළුවන.
29“ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගැසීමත්, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ මණ්ඩපය අබියස ඇති පූජාසනයට පරිබාහිර ව දවන යාග පූජා, ධාන්‍ය පූජා හා යාග පූජා පුදන්නට වෙනත් පූජාසනයක් තැනීමෙන් අද දවසේ උන්වහන්සේ වෙතින් හැරී යාමත්, අප කෙරෙන් දුරු වේවා” යි පැවසූහ.
30පූජක පීනෙහාස් හා ඔහු සමඟ වූ ඉශ්රායෙල් පෙළපත් නායකයින් වූ ඉශ්රායෙල් ජන ප්‍රධානීහු රූබෙන් ජනයා, ගාද් ජනයා හා මනස්සේ ජනයා පැවසූ දේ අසා සෑහීමට පත් වූහ. 31පූජක එලෙයාසර්ගේ පුත් පීනෙහාස්, රූබෙන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේවරුන් ද අමතමින්, “අප දන්නවා අද දවසේ ස්වාමින්වහන්සේ අප සමඟ වග. මන්ද ඔබ ස්වාමින්වහන්සේට එරෙහිව ද්‍රෝහි වෙලා නැහැ. දැන් ඔබ ස්වාමින්වහන්සේ අතින් ඉශ්රායෙල් ගලවාගෙන ඇතැ” යි කීවේ ය.
32ඉන්පසු පූජක එලෙයාසර්ගේ පුත් පීනෙහාස් හා ප්‍රධානීහු ගිලියාද් දේශයේදී රූබෙන්වරුන් හා ගාද්වරුන් හමුවීමෙන් පසුව, කානාන් දේශයේ ඉශ්රායෙල් ජනයා වෙත ආපසු අවුත්, ඒ වග ඔවුන්ට සැල කළහ. 33ඒ ආරංචිය ඉශ්රායෙල් ජනයාට ප්‍රීතියක් විය. දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ ඉශ්රායෙල් ජනයා රූබෙන්වරුන් හා ගාද්වරුන් විසූ රට වනසා දමන්නට ඔවුන්ට එරෙහිව යුද්ධයට යෑමක් ගැන තවත් කතා කළේ නැත.
34රූබෙන්වරු හා ගාද්වරු එම පූජාසනය සාක්ෂිය නමින් හැඳින් වූහ. මන්ද “ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ වගට එය අප අතරේ සාක්ෂියකි” යි ඔවුහු පැවසූහ.
දැනට තෝරාගෙන ඇත:
යෝෂුවා 22: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.