යෝෂුවා 21

21
ලෙවීවරුන් සඳහා වූ නගර
1තවද ලෙවී ගෝත්‍රික පෙළපත් ප්‍රධානීහු, පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් යෝෂුවා ද සෙසු ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශික පෙළපත් ප්‍රධානීන් ද වෙත අවුත්, 2කානාන් දේශයේ ෂීලෝහි දී ඔවුන්ට කතා කොට, “අපට වාසය කරන්නට නගර සමඟ අපේ සත්ව සම්පත්වලට තණ බිම් දෙන්නට ස්වාමින්වහන්සේ මෝසෙස් මගින් අණ කළ සේකැ” යි කීහ.
3එබැවින් ස්වාමින්වහන්සේ අණ කළ පරිදි ඉශ්‍රායෙල්වරු, තම තමන්ගේ උරුම කොටස්වලින් මේ නගර සහ ඒ අවට තණ බිම් ලෙවීවරුනට දුන්හ.
4පස ඇටය කොහාත්වරුන්ගේ පෙළපත්වලට වැටුණේ ය. පූජක ආරොන්ගෙන් පැවත එන ලෙවීවරුන්ට පස ඇට මගින් යූදා ගෝත්‍රයේ, සිමියොන් ගෝත්‍රයේ හා බෙන්යමින් ගෝත්‍රයේ පෙළපත්වලින් නගර දහතුනක්, ලැබිණි.
5කොහාත්ගෙන් පැවත එන සෙසු අයට එප්‍රායිම් ගෝත්‍රයේ, දාන් ගෝත්‍රයේ හා මනස්සේ ගෝත්‍ර අර්ධයේ පෙළපත්වලින් නගර දහයක් පස ඇට මගින් ලැබිණි.
6ගෙර්ෂොන්වරුන්ට ඉස්සාකර් ගෝත්‍රයේ, ආෂෙර් ගෝත්‍රයේ, නෆ්තලී ගෝත්‍රයේ හා බාෂාන්හි මනස්සේ ගෝත්‍ර අර්ධයේ පෙළපත්වලින් නගර දහතුනක්, පස ඇට මගින් ලැබිණි.
7ඔවුන්ගේ පෙළපත්වලට අනුව මෙරාරීවරුනට රූබෙන් ගෝත්‍රයෙන්, ගාද් ගෝත්‍රයෙන් හා සාබුලොන් ගෝත්‍රයෙන් නගර දොළහක් ලැබිණි.
8මෙම නගර හා ඒවායේ තණ බිම් ඉශ්‍රායෙල්වරුන් පස ඇට මගින් ලෙවීවරුන්ට වෙන් කර දුන්නේ මෝසෙස් මගින් ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි ය.
9යූදා ගෝත්‍රයෙන් හා සිමියොන් ගෝත්‍රයෙන් පහත නම් කරන ලද නගර ඔවුහු 10ලෙවී ගෝත්‍ර වංශයට අයත් කොහාත් පෙළපත්වලින් එකක් වන ආරොන්ගෙන් පැවත එන අයට දුන්හ. මන්ද, පළමු පස ඇටය වැටුණේ ඔවුන්ට ය.
11ඔවුහු යූදා කඳු රටේ කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් සහ ඒ අවට තණ බිම් ඔවුන්ට දුන්හ. (අර්බා, අනාක්ගේ පියා විය.) 12එහෙත් පුරය වටා වූ කෙත් වතු හා ඒවායේ ගම්මාන යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට ඔහුගේ උරුමය වශයෙන් දී තිබිණි. 13තවද පූජක ආරොන්ගෙන් පැවත එන්නවුන්ට මිනිස් ඝාතක අභය නගරයක් වූ හෙබ්‍රොන් සමඟ එහි තණ බිම් ද ලිබ්නා සමඟ එහි තණ බිම් ද 14යත්තීර් සමඟ එහි තණ බිම් ද එෂ්තෙමොවා සමඟ එහි තණ බිම් ද 15හොලොන් සමඟ එහි තණ බිම් ද දෙබීර් සමඟ එහි තණ බිම් ද 16අයින් සමඟ එහි තණ බිම් ද යුට්ටා සමඟ එහි තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සමඟ එහි තණ බිම් ද යන නගර නවය, එම ගෝත්‍ර දෙකෙනි.
17බෙන්යමින් ගෝත්‍රයෙන් ඔවුහු ඔවුන්ට
ගිබෙයොන් සමඟ එහි තණ බිම් ද ගෙබා සමඟ එහි තණ බිම් ද 18අනාතොත් සමඟ එහි තණ බිම් ද අල්මෝන් සමඟ එහි තණ බිම් ද යන නගර හතර ලැබිණි.
19ආරොන්ගෙන් පැවත එන්නන් වූ පූජකයින්ට ලැබුණු තණ බිම් ඇතුළු නගර සියල්ල දහතුනකි.
20ලෙවීවරුන්ගේ කොහාත් පෙළපත්වලට අයත් සෙසු කොහාත්වරුන්ට නගර, එප්‍රායිම් ගෝත්‍ර වංශයෙන් වෙන් කර, දෙනු ලැබිණි:
21ඔවුන්ට මිනිස් ඝාතක අභය නගරයක් වූ එප්‍රායිම් කඳු රටේ
ෂෙකෙම් සමඟ එහි තණ බිම් ද ගෙසෙර් සමඟ එහි තණ බිම් ද 22කිබ්සයිම් සමඟ එහි තණ බිම් ද බෙත්-හෝරෝන් සමඟ එහි තණ බිම් ද යන නගර හතර දෙනු ලැබිණි.
23දාන් ගෝත්‍රයෙන්:
එල්තෙකේ සමඟ එහි තණ බිම් ද ගිබ්බෙතෝන් සමඟ එහි තණ බිම් ද 24අයියාලොන් සමඟ එහි තණ බිම් ද ගාත්-රිම්මෝන් සමඟ එහි තණ බිම් ද යන නගර හතර දෙනු ලැබිණි.
25මනස්සේ ගෝත්‍ර අර්ධයෙන්:
තානක් සමඟ එහි තණ බිම් ද ගාත්-රිම්මෝන් සමඟ එහි තණ බිම් ද යන නගර දෙක දෙනු ලැබිණි.
26සෙසු කොහාත් පෙළපත්වලට ඒවායේ තණ බිම් සමඟ දෙන ලද මුළු නගර ගණන දහයකි.
27ලෙවීවරුන්ගේ එක් පෙළපතක් වන ගෙර්ෂොන්වරුනට
මනස්සේ ගෝත්‍ර අර්ධයෙන් දෙන ලද නගර:
මිනිස් ඝාතක අභය නගරයක් වූ බාෂාන්හි ගෝලාන් සමඟ එහි තණ බිම් ද බෙයෙෂ්තෙරා සමඟ එහි තණ බිම් ද යන නගර දෙක.
28ඉස්සාකර් ගෝත්‍ර වංශයෙන්:
කිෂියොන් සමඟ එහි තණ බිම්, දාබෙරත් සමඟ එහි තණ බිම්, 29යර්මූත් සමඟ එහි තණ බිම්, ඒන්-ගන්නීම් සමඟ එහි තණ බිම් යන නගර හතර.
30ආෂෙර් ගෝත්‍ර වංශයෙන්:
මිෂාල් සමඟ එහි තණ බිම්, අබ්දෝන් සමඟ එහි තණ බිම්, 31හෙල්කත් සමඟ එහි තණ බිම්, රෙහොබ් සමඟ එහි තණ බිම් යන නගර හතර.
32නෆ්තලී ගෝත්‍ර වංශයෙන්:
මිනිස් ඝාතක අභය නගරයක් වන ගලීලයේ කෙදෙෂ් සමඟ එහි තණ බිම්, හම්මොත්-දෝර් සමඟ එහි තණ බිම්, කර්තාන් සමඟ එහි තණ බිම් යන නගර තුන.
33ගෙර්ෂොන් පෙළපත් ඇතැමකට ලැබුණු තණ බිම් ඇතුළු නගර සියල්ල දහතුනකි.
34සෙසු ලෙවීවරුන් වූ මෙරාරී පෙළපත්වලට දෙන ලද නගර:
සාබුලොන් ගෝත්‍ර වංශයෙන්:
යොක්නෙයාම් සමඟ එහි තණ බිම්, කර්තා සමඟ එහි තණ බිම්, 35දිම්නා සමඟ එහි තණ බිම්, නහලාල් සමඟ එහි තණ බිම් යන නගර හතර.
36රූබෙන් ගෝත්‍ර වංශයෙන්:
බෙසෙර් සමඟ එහි තණ බිම්, යහස් සමඟ එහි තණ බිම්, 37කෙදේමොත් සමඟ එහි තණ බිම්, මේෆාත් සමඟ එහි තණ බිම් යන නගර හතර.
38ගාද් ගෝත්‍ර වංශයෙන්:
මිනිස් ඝාතක අභය නගරයක් වූ ගිලියාද්හි රාමොත් සමඟ එහි තණ බිම්, මහනයිම් සමඟ එහි තණ බිම්, 39හෙෂ්බෝන් සමඟ එහි තණ බිම්, යාසේර් සමඟ එහි තණ බිම් යන නගර හතර.
40මෙරාරී පෙළපත්වලට එනම් ලෙවීවර ඉතිරි පෙළපත්වලට වෙන් කර දෙන ලද නගර සියල්ල දොළහකි.
41ඉශ්‍රායෙල්වරුන්ට අයත් උරුම පළාත්හි ඒවායේ තණ බිම් ඇතුළු ව ලෙවීවරුන්ගේ නගර මුළු ගණන හතළිස් අටකි. 42මේ හැම නගරයකට ම ඒ වටා වූ තණ බිම් තිබිණි. මේ නගර සියල්ල ඒ ආකාරය.
43මෙසේ ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන්නෙමැයි ස්වාමින්වහන්සේ දිවුළ මුළු දේශය, උන්වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔවුහු එය අත්කර ගෙන, එහි පදිංචි වූහ. 44ස්වාමින්වහන්සේ හැම අතින් ම ඔවුන්ට විවේකය දුන්නේ, ඔවුන්ගේ පියවරුන්ට උන්වහන්සේ දිවුරා තිබූ පරිද්දෙනි. ඔවුන්ගේ සතුරන්ගෙන් කිසිවකුට ඔවුන්ට එරෙහිව නැගී සිටින්නට හැකි නො වී ය. ස්වාමින්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට හසුකර දී තිබිණ. 45ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල් වංශයට දී තිබූ යහපත් පොරොන්දු සියල්ලෙන් එකක්වත් ඉටු නො වී නො තිබිණි. ඒ හැම එකක් ම ඉටු විණි.

දැනට තෝරාගෙන ඇත:

යෝෂුවා 21: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න