යෝබ් 27
27
මිතුරන් වෙත යෝබ්ගේ අවසන් වදන්
1තවදුරටත් යෝබ් තම කතාව පවත්වාගෙන යමින්:
2“මට යුක්තිය ප්‍රතික්ෂේප කළ දෙවියන්වහන්සේ,
මගේ ජීවය දැඩි සන්තාපයට පත් කළ සර්ව පරාක්‍රමයාණන්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම,
3මා තුළ පණනල තිබෙන තාක් කල්,
දෙවියන්වහන්සේගේ හුස්ම මගේ නාස් පුඩුවල තිබෙන තාක් කල්,
4මගේ තොල් නපුර කතා කරන්නේ නැත;
මගේ දිව වංචාව පවසන්නේ නැත.
5නුඹලා නිවැරදියැයි මම කිසි විටෙකත් නො පිළිගනිමි;
මියෙන තුරා මගේ සෘජු භාවය මා අත්හරින්නේ නැත.
6මගේ ධර්මිෂ්ඨභාවය දිගට ම පවත්වාගෙන යන්නෙමි; කිසි විට එය අත්හරින්නේ නැත;
මගේ දිවි ඇති තුරාවට මගේ හෘදය සාක්ෂිය මට වරද තබන්නේ නැත.
7“මගේ සතුරෝ දුෂ්ටයින් මෙන් වෙත්වා!
මගේ එදිරිවාදීහු අධර්මිෂ්ඨයින් මෙන් වෙත්වා!
8දෙවියන්වහන්සේ අභක්තිකයාගේ දිවි සිඳ ලූ කල, දෙවියන්වහන්සේ ඔහුගේ ජීවිතය ආපසු ගත් කල,
ඔහුට ඇත්තේ කවර බලාපොරොත්තුවක් ද?
9කරදර-විපත් ඔහු පිට පැමිණි කල,
දෙවියන්වහන්සේ ඔහුගේ හඬ ගෑමට සවන් දෙන සේක් ද?
10ඔහු සර්ව පරාක්‍රමයාණන් තුළ සොම්නස් වනු ඇද්ද?
නිරතුරු ඔහු දෙවියන්වහන්සේට හඬ ගසනවා ඇද්ද?
11“දෙවියන්වහන්සේගේ බලය ගැන මම ඔබට උගන්වන්නෙමි.
සර්ව පරාක්‍රමයාණන්ගේ අරමුණු මම නො සඟවන්නෙමි.
12බලන්න! ඒ හැම දේ නුඹලා දැක බලා තිබියදී,
කිම ද මේ නිෂ්ඵල කතා?
13“දුෂ්ට මිනිසාට දෙවියන්වහන්සේ වෙන් කර දෙන නියතය මෙයයි;
කුරිරු මිනිසාට සර්ව පරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමය මෙයයි;
14පුතුන් බොහොමයක් ඔහුට උපදිතත්, ඒ, කඩුවට බිලිවීමට ය.
ඔහුගෙන් පැවත එන්නන්ට ප්‍රමාණවත් තරම් අහර කිසි කල නො ලැබේ.
15නො මැරී ඉතිරි වූ ඔහුගේ පුත්තු වසංගතය විසින් වළලනු ලබති;
ඔවුන්ගේ වැන්දඹු භාර්යාවන් පවා ඔවුන් උදෙසා වැලපෙනු නැත.
16ඔහු වැලි-දූලි මෙන් බොහෝ රිදී ගොඩ ගසා ගත්තත්,
මැටි ගොඩවල් මෙන් ඇඳුම් රැස් කර ගත්තත්,
17එසේ ඔහු රැස් කළ දෑ ඇඟලනු ඇත්තේ ධර්මිෂ්ඨයින් ය;
ඔහුගේ රිදී බෙදා ගනු ඇත්තේ නිර්දෝෂී අය ය.
18ඔහු ගොඩ නගන ගෙය කාවෙකුගේ කෝෂයක් වැන්න;
මුරකරුවකු සාදන මුර පැලක් වැන්න;
19ඔහු ධනවතකු ව සැතපෙයි; එහෙත් තවත් එසේ නො කරයි;
ඔහු ඇස් ඇර බලන කල, සියල්ල නැති වී ගොසිනි.
20භීතිය ගංවතුරක් සේ ඔහු යට කර දමයි;
චණ්ඩ මාරුතය රැයේදී ඔහු හසුකර ගෙන යයි.
21පෙරදිග සුළඟ ඔහු උසුලාගෙන යයි; ඔහු ගසා ගෙන ගොසිනි.
ඔහුගේ ස්ථානයෙන් ඔහු සුළියෙන් ගසා ගෙන ගොසිනි.
22ඔහු මහත් වැර වීරිය යොදා, එහි බලයෙන් මිදී පැන යන කල,
එය ඔහුට එරෙහිව දයා විරහිත ව පහර දෙන්නට වෙයි.
23එය සමච්චලයට අත්පොළසන් දෙමින්
ඔහුගේ ස්ථානයෙන් ඔහු පිස දමයි.”
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 27: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.