යෝබ් 2

2
1දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට ආ තවත් දිනෙක සාතන් ද ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට ඔවුන් සමඟ පැමිණියේ ය. 2ස්වාමින්වහන්සේ සාතන් අමතා, “නුඹ කොහේ සිට මෙහි ආවා දැ?” යි ඇසූ සේක.
සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “මම පොළොවේ ඔබ මොබ සැරිසරා, ඒ මේ අත ඇවිද ආවෙමි” යි කීවේ ය.
3එවිට ස්වාමින්වහන්සේ, “මගේ සේවක යෝබ් ගැන නුඹ සිතා බැලුවා ද? ඔහු වැනි කෙනෙක් මුළු පොළෝ තලයේ ම නැත. ඔහු නිදොස්, අවංක කෙනෙකි; දෙවියන්වහන්සේට භය පක්ෂපාත වූ නපුරෙන් වැළකුණු මිනිසෙකි; කිසි හේතුවක් නැතිව ඔහු විනාශ කර දමන්නට ඔහුට එරෙහිව නුඹ මා පෙලඹෙවු නමුත්, ඔහු තවමත් තම අවංක භාවය රැකගෙන සිටී” යි සාතන්ට පැවසූ සේක.
4සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “හම වෙනුවට හමකි; තම ජීවිතය වෙනුවට මිනිසකු ඕනෑ ම දෙයක් දේවි; 5ඔබගේ අත දිගු කර ඔහුගේ මාංසයටත්, ඇටකටුවලටත් පහර දී බලන්න; එවිට නිසැකයෙන් ඔහු ඔබේ මුහුණට ම ශාප කරනු ඇතැ” යි පැවසී ය.
6එවිට ස්වාමින්වහන්සේ, “හොඳයි; එසේ නම් ඔන්න! ඔහු නුඹේ අත යටතෙයි; එහෙත් ඔහුගේ ජීවිතය ඉතිරි කළ යුතු යැ” යි කී සේක.
7එවිට සාතන් ස්වාමින්වහන්සේ අබියසින් ඉවත් ව ගොස්, යෝබ්ගේ යටි පතුලේ සිට හිස මුදුන දක්වා ගත පුරා වේදනාකාරී තුවාල හටගන්වමින් ඔහුට පීඩා කළේ ය. 8යෝබ් අළු ගොඩේ හිඳගෙන, තම ඇඟ කසා ගැනීමට බිඳුණු වළං කැබැල්ලක් ගත්තේ ය.
9යෝබ්ගේ බිරිඳ ඔහු අමතමින්, “නුඹ තවමත් නුඹේ අවංකකම බදාගෙන ඉන්නවා ද? දෙවියන්වහන්සේට ශාප කර මැරියන්” යැයි කීවා ය.
10එහෙත් ඔහු ඇයට පිළිතුරු දෙමින්, “අඥාන ස්ත්‍රියක් වගේ කතා කරන්නේ මොකද? අපි දෙවියන්වහන්සේගෙන් හොඳ දේ වගේ ම විපත්තියත් පිළිගත යුතු නො වේ දැ?” යි කීවේ ය.
මේ සියල්ල අතරතුරදී යෝබ් වචනයකින් හෝ පව් කළේ නැත.
11යෝබ්ගේ මිතුරන් වන තේමානීය එලීෆස් ද ෂූහීය බිල්දද් හා නාමාතීය සෝෆර් ද යන තිදෙන යෝබ්ට පැමිණි මුළු ඇබැද්දිය ගැන ඇසූ කල, ඔහුට අනුකම්පා කර, ඔහු අස්වසන්නට ගිවිස, තම නිවෙස්වලින් පිටත් ව එකට එක් ව ඔහු බැහැ දකින්නට ආහ. 12ඈතදීම ඔහු දුටු ඔවුනට ඔහු හඳුනා ගැනීමට තරම් අපහසු විය. ඔවුහු මහ හඬ නගා හඬන්නටත්, තම හැඳිවත් ඉරාගන්නටත්, තම හිස් මත ධූලි දමාගන්නටත් වන්හ. 13ඉන්පසු ඔවුහු දහවල් හතක් හා රෑ හතක් ඔහු සමඟ බිම හිඳගෙන, කිසි කතාවක් නැතිව සිටියහ. මන්ද ඔහු විඳවන තරම ඔවුන් දුටු නිසා ය.

දැනට තෝරාගෙන ඇත:

යෝබ් 2: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න