යෝබ් 13:1-16

යෝබ් 13:1-16 SCV

“ඔන්න! ඒ සියල්ල මගේ ඇසින් මම දැක ඇත්තෙමි; මගේ කනින් අසා, එය වටහා ගෙන ඇත්තෙමි. ඔබ දන්නා දේ මමත් දනිමි; මම නුඹලාට වඩා අඩු නො වෙමි. එහෙත් මගේ ඕනෑකම, සර්ව පරාක්‍රමයාණන්ට කතා කිරීමයි. මගේ කාරණය දෙවියන්වහන්සේ සමඟ විවාද කිරීමයි. එහෙත් නුඹලා! මා ගැන බොරු ගොතා පතුරන නුඹලා වෙදකම නො දන්නා වෙද්දු ය; නුඹලා හැමෝම! අනේ, නුඹලා මුළුමනින් නිශ්ශබ්ද වුණොත්! එය නුඹලාට ප්‍රඥාවන්තකම වේවි. දැන් මගේ තර්කයට කන් දෙන්න; මගේ තොල් අතරින් කරුණු දැක්වීමට සවන් දෙන්න. දෙවියන්වහන්සේ උදෙසා නුඹලා නපුර කතා කරනවා ද? උන්වහන්සේ උදෙසා වංචනික ව කතා කරනවා ද? නුඹලා උන්වහන්සේට පක්ෂග්‍රාහීකම් පෙන්වනවා ද? දෙවියන්වහන්සේ උදෙසා කරුණු කියනවා ද? උන්වහන්සේ නුඹලා ගැන විපරම් කර බැලුවොත්, නුඹලා නිවැරදි සේ සැලකේ ද? මිනිසුන් රවටන්නා සේ උන්වහන්සේ රවටන්නට නුඹලාට හැකි ද? නුඹලා රහසේ පක්ෂග්‍රාහී වන්නේ නම්, උන්වහන්සේ නුඹලාට තරවටු කරනු ඇත. උන්වහන්සේගේ ශෝභාශ්‍රීය ඔබ භය ගන්වන්නේ නැති ද? උන්වහන්සේ ගැන භීතියක් ඔබ පිට පාත්වන්නේ නැති ද? ඔබගේ ආප්තෝපදේශ, අළු වැනි හිතෝපදේශ වේ; ඔබගේ ප්‍රති උත්තර ලෙහෙසියෙන් බිඳෙන මැටි වැනි ය. “නිශ්ශබ්ද වන්න; කතා කරන්නට මට ඉඩ දෙන්න; ඉන්පසු මට වන දෙයක් වුණා වේ! මා මගේ ජීවිතය අවදානමකට ලක් කරන්නේ මන්ද? මගේ ජීවිතය මගේ අත්වලට ගන්නේ කුමට ද? උන්වහන්සේ මා මරා දැමුවත්, උන්වහන්සේ තුළ මම බලාපොරොත්තු තබමි. උන්වහන්සේගේ මුහුණට ම මගේ නිදහසට කරුණු කියමි. මේ කාරණය ම මගේ ගැලවීමට හේතු වනු ඇත; මන්ද කිසි අභක්තික මිනිසෙක් උන්වහන්සේ ඉදිරියට ඒමට එඩිතර නො වේ!

මෙයට අදාළ වීඩියෝ