යෝබ් 13
13
1“ඔන්න! ඒ සියල්ල මගේ ඇසින් මම දැක ඇත්තෙමි;
මගේ කනින් අසා, එය වටහා ගෙන ඇත්තෙමි.
2ඔබ දන්නා දේ මමත් දනිමි;
මම නුඹලාට වඩා අඩු නො වෙමි.
3එහෙත් මගේ ඕනෑකම, සර්ව පරාක්‍රමයාණන්ට කතා කිරීමයි.
මගේ කාරණය දෙවියන්වහන්සේ සමඟ විවාද කිරීමයි.
4එහෙත් නුඹලා! මා ගැන බොරු ගොතා පතුරන නුඹලා
වෙදකම නො දන්නා වෙද්දු ය; නුඹලා හැමෝම!
5අනේ, නුඹලා මුළුමනින් නිශ්ශබ්ද වුණොත්!
එය නුඹලාට ප්‍රඥාවන්තකම වේවි.
6දැන් මගේ තර්කයට කන් දෙන්න;
මගේ තොල් අතරින් කරුණු දැක්වීමට සවන් දෙන්න.
7දෙවියන්වහන්සේ උදෙසා නුඹලා නපුර කතා කරනවා ද?
උන්වහන්සේ උදෙසා වංචනික ව කතා කරනවා ද?
8නුඹලා උන්වහන්සේට පක්ෂග්‍රාහීකම් පෙන්වනවා ද?
දෙවියන්වහන්සේ උදෙසා කරුණු කියනවා ද?
9උන්වහන්සේ නුඹලා ගැන විපරම් කර බැලුවොත්, නුඹලා නිවැරදි සේ සැලකේ ද?
මිනිසුන් රවටන්නා සේ උන්වහන්සේ රවටන්නට නුඹලාට හැකි ද?
10නුඹලා රහසේ පක්ෂග්රාහී වන්නේ නම්,
උන්වහන්සේ නුඹලාට තරවටු කරනු ඇත.
11උන්වහන්සේගේ ශෝභාශ්‍රීය ඔබ භය ගන්වන්නේ නැති ද?
උන්වහන්සේ ගැන භීතියක් ඔබ පිට පාත්වන්නේ නැති ද?
12ඔබගේ ආප්තෝපදේශ, අළු වැනි හිතෝපදේශ වේ;
ඔබගේ ප්‍රති උත්තර ලෙහෙසියෙන් බිඳෙන මැටි වැනි ය.
13“නිශ්ශබ්ද වන්න; කතා කරන්නට මට ඉඩ දෙන්න;
ඉන්පසු මට වන දෙයක් වුණා වේ!
14මා මගේ ජීවිතය අවදානමකට ලක් කරන්නේ මන්ද?
මගේ ජීවිතය මගේ අත්වලට ගන්නේ කුමට ද?
15උන්වහන්සේ මා මරා දැමුවත්#13:15 හෝ උන්වහන්සේ මා මරා දමනවා ඇත. මට බලාපොරොත්තුවක් නැත්තේ ය., උන්වහන්සේ තුළ මම බලාපොරොත්තු තබමි.
උන්වහන්සේගේ මුහුණට ම මගේ නිදහසට කරුණු කියමි.
16මේ කාරණය ම මගේ ගැලවීමට හේතු වනු ඇත;
මන්ද කිසි අභක්තික මිනිසෙක් උන්වහන්සේ ඉදිරියට ඒමට එඩිතර නො වේ!
17මගේ වචනවලට ඕනෑකමින් කන් දෙන්න;
මා කියන දේ ඔබේ සවන් තුළට යේවා.
18මෙන්න, මගේ නිදහසට කරුණු මම සපයා ගෙන ඇත්තෙමි.
මා නිදොස් යයි ඔප්පු වන වග මම දනිමි.
19මට එරෙහිව චෝදනා ගෙනෙන්නට යමකුට පුළුවන් ද?
එසේ වේ නම්, මම නිහඬ වී, මියෙන්නෙමි.
20“අහෝ දෙවියන්වහන්ස, කරුණු දෙකකට පමණක් අනුමැතිය දුන මැනව;
ඉන්පසු මම ඔබ වෙතින් නො සැඟවෙන්නෙමි.
21ඔබේ අත මා වෙතින් ඉවතට ගෙන,
ඔබගේ භයංකාරකමින් මා භය නො කළ මැනව.
22ඉන්පසු මා අමතන්න; මම පිළිතුරු දෙන්නෙමි.
නැතහොත් මට කතා කරන්නට ඉඩ දී ඔබ පිළිතුරු දෙන්න.
23මවිසින් කරන ලද වරද හා පාප කොතෙක් ද?
මගේ වැරදි හා මගේ පාප මට පෙන්වා දෙන්න.
24ඔබ ඔබගේ මුහුණ සඟවා ගන්නේ මන්ද?
මා ඔබගේ සතුරෙකැයි සලකන්නේ මන්ද?
25සුළඟේ ගසා ගෙන යන පරඬලාවකට ඔබ හිරිහැර කරන්නේ ද?
බොල් පොතු පසු පස ඔබ හඹා යන්නේ ද?
26මන්ද ඔබ මට එරෙහිව විසකුරු දෑ ලියන සේක;
තරුණ වියේ මගේ පාප ද මට පවරන සේක.
27ඔබ මගේ පාද දඬු කඳේ ගසා,
මගේ යටිපතුලවල හංවඩුවක් තබා,
ඔබ මගේ සියලු මාවත් නිරීක්ෂණ කරන සේක.
28“එබැවින් මිනිසා දිරාගිය ලීයක් මෙන්
කාවුන් කෑ ඇඳුමක් මෙන් නාස්ති වී යයි.
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 13: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.