යෙරමියා 8
8
1“ ‘ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: එකල්හි, යූදාහි රජුන්ගේ ඇටකටු ද එහි අධිපතීන්ගේ ඇටකටු ද පූජකයින්ගේ ඇටකටු හා දිවැසිවරුන්ගේ ඇටකටු ද යෙරුසලමේ පදිංචිකරුවන්ගේ ඇටකටු ද ඔවුන්ගේ මිනී වළවලින් පිටතට ගෙනෙනු ලබනු ඇත. 2ඔවුන් ප්‍රේම කළ, සේවය කළ, ඔවුන් අනුගමන කළ, ඔවුන් විසින් විමසනු ලැබූ, නමස්කාර කළ, හිරුට, සඳුට හා අහසේ තරු සියල්ලට ප්‍රදර්ශන වන්නට ඒවා අතුරා තබනු ඇත. ඒවා එකතු කරනු ලබන්නේවත්, වළලනු ලබන්නේවත් නැතිව, පොළෝ තලය මත සත්ව වසුරු මෙන් වනු ඇත. 3මා විසින් ඔවුන් පලවා හළ කොතැනදී වුව, මේ දුෂ්ට වංශයේ ජීවත් ව, ඉතිරි ව සිටින ස්වල්ප දෙනා වන සියල්ලන්, ජීවිත වෙනුවට මරණය තෝරාගනු ඇතැයි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.’
පාපය හා දඬුවම
4“ඔවුනට මෙසේ පවසන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘මිනිසුන් වැටුණු කල, ඔවුන් යළි නැගිටින්නේ නැති ද?
කෙනකු ඉවත හැරී ගිය කල, ඔහු යළි ආපසු එන්නේ නැති ද?
5එසේ නම් මෙම ජනයා ඉවත හැරී
යෙරුසලම නිරන්තරයෙන් පසුබට ව සිටින්නේ මන්ද?
ඔවුහු රැවටිල්ලේ ඇලෙති.
ආපසු ඒම ප්‍රතික්ෂේප කරති.
6මම සාවධාන ව අසා සිටියෙමි,
එහෙත් ඔවුන් හරි දේ පවසන්නේ නැත.
“කුමක් ද මා කර ගත්තේ?” යි කියමින්,
තම දුෂ්ටකම ගැන පසුතැවෙන කෙනෙක් නැත.
යුද්ධයට පිම්මේ දුවන අශ්වයකු මෙන්,
හැම කෙනෙක් ම තම තමාගේ අභිමතය පසු පස්සේ යති.
7අහසේ පියාසරන කොකා පවා,
උගේ නියමිත කාල-සෘතු දනියි.
පරෙවියා ද වැහි ලිහිණියා ද ගී කියන කුරුල්ලා ද
තම තමන්ගේ සංක්‍රමණ කාලය අනුගමන කරයි.
එහෙත් මගේ ජනයා
ස්වාමින්වහන්සේගේ නියමයන් දන්නේ නැත.
8“ ‘බලන්න! ලියවිලි පිටපත් කරන්නන්ගේ බොරු ලියන පෑන,
ව්‍යවස්ථාව ගැන බොරු කරද්දී, “අපි නුවණැත්තෝ ය,
මන්ද ස්වාමින්වහන්සේගේ නීතිය අපට තියේ යැ” යි
නුඹලාට කිව හැක්කේ කෙසේ ද?
9නැණවත්හු ලජ්ජාවට පත් කරනු ලබති.
ඔවුහු භීතියට පත් වී, උගුලට හසු වන්නෝ ය.
මෙන්න! ස්වාමින්වහන්සේගේ වචනය, ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති කොට,
ඔවුනට ඇත්තේ කවර ප්‍රඥාවක් ද?
10එබැවින් මම ඔවුන්ගේ භාර්යාවන් වෙනත් අයට දෙන්නෙමි.
ඔවුන්ගේ වතු පිටි ජයග්රාහකයින්ට දෙන්නෙමි.
මන්ද පහත් ම අය පටන් උත්තමයා දක්වා
සැවොම වාසියට ම ගිජු ව සිටින බැවිනි.
දිවැසිවරයා පටන් පූජකයා දක්වා
හැම කෙනකු ම කටයුතු කරන්නේ, වංචනික ව ය.
11මගේ ජනයා වූ දියණියගේ තුවාලයට ඔවුන්
බෙහෙත් බැඳ ඇත්තේ, ඕනෑවට-එපාවට ය.
“සාමය, සාමය” යයි ඔවුහු කියති.
එහෙත්, ඇති සාමයක් නැත.
12පිළිකුල්කම් කිරීම ගැන ඔවුහු ලජ්ජා වූවෝ ද?
නැත, ඔවුන් කොහෙත් ම ලජ්ජා වූයේ නැත.
ලජ්ජාව යනු කුමක් ද යන්නවත් ඔවුහු නො දනිති.
එබැවින් වැටී යන්නවුන් අතරේ ඔවුන් වැටී යනු ඇත.
මා ඔවුනට දඬුවම් කරන කල, ඔවුන් බිඳ හෙළනු ලබනු ඇතැයි
ස්වාමින්වහන්සේ පවසන සේක.
13“ ‘මම ඔවුන් එකතු කරන කල,
මිදි වැලේ මිදි පල නො වනු ඇතැ’ යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක;
අත්තික්කා ගහේ අත්තික්කා නො වන්නේ ය.
එහි කොළ පවා වියළී යයි.
මා ඔවුන්ට දුන් දෑ,
ඔවුන් වෙතින් දුරු වී යනු ඇත.#8:13 මුල් භාෂාවේ මෙම පදයේ ඇතැම් වාක්‍ය ඛණ්ඩවල අර්ථය පැහැදිලි නැත.”
14ඇයි අපි මෙතැන නිකම් හිඳගෙන ඉන්නේ?
එක් රොක් වන්න;
අපි ආරක්ෂක පුරවරවලට ගොස්,
එහිදී වැනසෙමු!
මන්ද ස්වාමින්වහන්සේට එරෙහිව අප පව් කළ නිසා,
අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ විනාශය අපට නියම කළ සේක්,
විස වතුර අපට බොන්නට දුන් සේක.
15අපි අපේක්ෂා කළේ සාමය ය;
එහෙත් කිසි හොඳක් පැමිණියේ නැත.
අප බලා සිටියේ සුවයේ කාලයකි;
එහෙත් මෙන්න! එහි වූයේ භීතිය ය.
16ඔවුන්ගේ අශ්වයින් නාසයෙන් පිඹින හඬ,
දාන් වෙතින් ඇසේ.
ඔවුන්ගේ තුරුණු අශ්වයින්ගේ හේෂාරවයට
මුළු දේශය ම වෙවුලයි.
මන්ද ඔවුන් පැමිණ ඇත්තේ,
දේශයත්, එහි ඇති සියල්ලත්,
පුරවරයත්, එහි වෙසෙන සියලු දෙනාත් වනසා දමන්නට ය.
17“මෙන්න, මම නුඹලා අතරට සර්පයින් ද
දපනය දා ගත නො හැකි පොළඟුන් ද එවන්නෙමි.
උන් නුඹට දෂ්ට කරනු ඇතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
18මගේ ප්‍රීතිය යන්නට ගොසිනි.
මගේ හදවත මා තුළෙහි රෝගී ව ඇත.
19අන්න! මගේ ජනයා වූ දියණියගේ හැඬීම
දුරස්තර දේශයකින් ඇසේ.
“ස්වාමින්වහන්සේ සියොනෙහි නැති ද?
ඇගේ රජ්ජුරුවන් ඇයට නැති ද?”
“තමන්ගේ දේව පිළිම මගින්, විදේශ පිළිම රූප මගින්
ඔවුන් මා කුපිත කළේ මන්ද?”
20“අස්වැන්න පසු විය.
ග්‍රීස්මය නිම විය.
එහෙත් අප තවමත් ගැලවී නැත.”
21මගේ ජනයාගේ තුවාලයෙන් මම ද තුවාල වී සිටිමි.
මම ශෝක වන්නෙමි; භීතිය මා අල්ලාගෙන ඇත.
22ගිලියාද්හි සහනාලේප නැති ද?
කෝ! එහි වෙදෙක් නැති ද?
එසේ නම් මගේ ජනයා
තවමත් නිරෝගී භාවයට පත් කර නැත්තේ මන්ද?
දැනට තෝරාගෙන ඇත:
යෙරමියා 8: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.