යෙරමියා 23:1-9

යෙරමියා 23:1-9 SCV

“මගේ තණ බිමෙහි බැටළුවන් විනාශ කරන, උන් විසුරුවා හරින එඬේරුන්ට දුක් පැමිණේ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. එබැවින් මගේ ජනයා බලාගන්නා එඬේරුන්ට, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “නුඹලා මගේ බැටළු රැළ විසුරුවා හළ නිසාත්, ඔවුන් ඉවත පලවා හැරිය නිසාත්, ඔවුන් බලාගැනීම නො කළ නිසාත්, ඔන්න මම ද නුඹලා කළ නපුරුකම් ගැන බලා ගන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මගේ බැටළු රැළෙහි ඉතිරි ස්වල්ප දෙනා මා විසින් ඔවුන් පලවා හරින ලද සියලු දේශවලින් මම එකතු කර, ඔවුන්ගේ පට්ටියට ආපසු ගෙනෙන්නෙමි. එහිදී ඔවුන් සඵල වී, ගණනින් ද වැඩිවනු ඇත. ඔවුන් රැක බලාගන්නා එඬේරුන් මම ඔවුන්ට පත් කර දෙන්නෙමි. තවදුරටත් ඔවුන් භයට පත් වන්නේවත්, තැති ගන්නේවත් නැත. එකකුදු නැති වන්නේ ද නැතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “මෙන්න! දේශයෙහි යුක්තියත්, දමිටුකමත් ඉටු කරමින්, ප්‍රඥාවෙන් රජකම් කරන රජකු වන ධර්මිෂ්ඨ ශාඛාවක්, දාවිත්ගේ පරපුරින් මා විසින් නැගිටුවන දවස් පැමිණෙන්නේ ය. එතුමන්ගේ දවස්හි දී යූදා ගලවනු ලබන්නේ ය. ඉශ්‍රායෙල් සුරැකි ව වාසය කරන්නේ ය. එතුමන් හඳුන්වනු ලබන නාමය වන්නේ, ‘අපේ ධර්මිෂ්ඨකම වන ස්වාමින්වහන්සේ’ යනුවෙනි. “ඔන්න මෙබඳු දවස් පැමිණෙතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක, “ ‘ඉශ්‍රායෙල් ජනයින් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම යනුවෙන්’ තවදුරටත් කියන්නේ නැත. ‘ඉශ්‍රායෙල් වංශයෙන් පැවතෙන්නන්, උතුරු දේශයෙන් ද උන්වහන්සේ විසින් ඔවුන් පලවා හැර තිබූ සෙසු සියලු රටවලින් ද ඔවුන් ආපසු ගෙන ආ ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම යනුවෙන්’ කියන දවස් පැමිණෙන්නේ ය. එවිට ඔවුන් තමන්ගේ ම වූ දේශයේ වාසය කරනු ඇත.” දිවැසිවරුන් සම්බන්ධ ව ය: මගේ හදවත මා තුළ ම බිඳෙයි. මගේ ඇටකටු සියල්ල වෙවුලුම් කයි. ස්වාමින්වහන්සේ නිසාත්, උන්වහන්සේගේ ශුද්ධ වචන නිසාත් මා බීමත් මිනිසකු වැන්න. මිදි යුෂ මතට යට වූ මිනිසකු වැන්න.

යෙරමියා 23:1-9 සඳහා වීඩියෝව

යෙරමියා 23:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය