යෙරමියා 20

20
පූජක පෂ්හූර්
1ඉම්මේර්ගේ පුත්‍ර වූ ස්වාමින්වහන්සේගේ ගෘහයේ ප්‍රධාන නිලධාරියා වූ පූජක පෂ්හූර්, යෙරමියා දිවැසි වැකියෙන් කී දෑ, අසා සිටියේ ය. 2එබැවින් පෂ්හූර්, දිවැසිවර යෙරමියාට පහර දී, ස්වාමින්වහන්සේගේ ගෘහයේ ඉහළ බෙන්යමින් දොරටුව ළඟ ඔහු දඬු කඳේ ගැසී ය. 3පසු දින පෂ්හූර් දඬුකඳින් ඔහු මුදා ලූ විට, ඔහු ඇමතූ යෙරමියා, “ස්වාමින්වහන්සේ ඔබට දී ඇත්තේ පෂ්හූර් යන නම නො වේ; හැම පැත්තේ ම ඇත්තේ භීතිය ය යන නමයි#20:3 හෙබ්‍රෙව් මාගෝර්-මිස්සාබීබ් 6;25 ද බලන්න.. 4මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඔන්න! මම නුඹටත්, නුඹේ සියලු මිතුරන්ටත් නුඹ ම භීතියක් වන්නට සලසමි. නුඹේ ඇස්වලට පෙනි, පෙනී ඔවුන් තම සතුරන්ගේ කඩුපතින් ඇද වැටෙනු ඇත. සියලු යූදා වාසීන් මම බබිලෝනි රජු අතට දෙන්නෙමි. ඔහු, පිටුවහලුන් වශයෙන් ඔවුන් බබිලෝනියට ගෙන යනු ඇත. කඩුවෙන් ඔවුන් මරා දමනු ඇත. 5තවද මෙම පුරවරයේ වස්තුව, එහි සියලු ධාන්‍ය, එහි සියලු වටිනා දෑ ද යූදා රජුන්ගේ සියලු වස්තුව ද යන සියල්ල ඔවුන්ගේ සතුරන් අතට දෙන්නෙමි. ඔවුහු ඒවා කොල්ලයක් සේ පැහැරගෙන, බබිලෝනියට ගෙන යන්නෝ ය. 6පෂ්හූර් නුඹත්, නුඹේ ගෙවැසි සියලු දෙනාත් බබිලෝනියේ වහල්කමට යනු ඇත. එහිදී නුඹ මියැදී, වළලනු ලබනු ඇත. නුඹටත්, නුඹ විසින් බොරු දිවැසි වැකි පැවසූ නුඹේ මිතුරන් සියලු දෙනාටත් එසේ වන්නේ යැ’ යි” පැවසී ය.
යෙරමියාගේ පැමිණිල්ල
7අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා මුළා කළ සේක.
මම මුළා කරනු ලැබීමි. ඔබ, මා අභිබවා ජය ගත් සේක.
දවස පුරා මම සමච්චලයට ලක් ව සිටිමි;
සැවොම මට කවටකම් කරති.
8කතා කරන හැම විටෙක ම මා කරන්නේ,
සැහැසිකමත්, විනාශයත් ප්‍රකාශ කරමින්, මොර ගැසීමයි.
එබැවින් ස්වාමින්වහන්සේගේ වචනය,
දවස මුළුල්ලේ ම මට අපහාසයත්, අවලාදයත් ගෙනැවිත් තිබේ.
9“මම උන්වහන්සේ ගැන සඳහන් නො කරමි;
උන්වහන්සේගේ නාමයෙන් කතා නො කරමි” යි කීවොත්
උන්වහන්සේගේ වචන මගේ හදෙහි ගින්නක් මෙන්–
මගේ ඇටකටු තුළ වසා තැබූ ගින්නක් මෙන් වෙයි.
එය රඳවා තබා ගැනීම මට වෙහෙසකි;
මට එය කරන්නට බැරි ය.
10බොහෝ දෙනකු මෙසේ කොඳුරනු මට ඇසේ,
“හැම පැත්තේ ම භීතිය ය!
පැමිණිලි කරමු ඔහු ගැන.
අපි ඔහු ගැන පැමිණිලි කරමු.”
මගේ මිතුරන් සැවොම මගේ ඇද වැටීම බලා හිඳිමින්,
“ඇතැම් විට ඔහු රැවටෙනු ඇත;
එවිට අපි ඔහු පරදා ජය ගෙන,
ඔහුගෙන් පළිය ගනිමු” යි කියති.
11එහෙත් බිහිසුණු රණවිරුවකු සේ, ස්වාමින්වහන්සේ මා සමඟ වන සේක.
එබැවින් මට පීඩාකරන්නෝ පැකිළෙන්නෝ ය; ඔවුන් ජය ලබන්නේ නැත.
ඔවුන් අසමත් වනු ඇත. සදාතන නින්දාවට පැමිණෙනු ඇත.
ඔවුන්ගේ අවනම්බුව කිසි දිනෙක අමතක ව නො යේ.
12අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස,
ධර්මිෂ්ඨයින් පරීක්ෂා කරන, හදත්, මනසත් සෝදිසි කරන ඔබවහන්සේ
ඔවුන්ගෙන් පළිගනු මට දක්නට ලැබේවා.
මන්ද මගේ ප්‍රශ්නය මම ඔබට බාර කර ඇත්තෙමි.
13 ස්වාමින්වහන්සේට ගී ගයන්න!
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න!
දුෂ්ටයින්ගේ අතින් උන්වහන්සේ
දුප්පතුන්ගේ ජීවිත මුදන සේක.
14මා උපන් දවසට ශාප වේවා!
මගේ මව මා බිහි කළ දවසට සෙත් නො වේවා!
15මගේ පියා මහත් ප්‍රමෝදයට පත් කරමින්,
“ඔබට පුතකු උපන්නේ ය” යන පුවත
සැල කළ මිනිසාට ශාප වේවා!
16ඒ මිනිසා, ස්වාමින්වහන්සේ විසින්
අනුකම්පාවෙන් තොර ව බිඳ හෙළූ නගර මෙන් වේවා!
උදෑසන විලාප හඬ ද මද්දහනේදී
යුද්ධ ඝෝෂාව ද ඔහුට ඇසේවා.
17මන්ද මගේ මවගේ කුසය මගේ සොහොන වන පරිදි,
සදාතනික ව ඇය ගැබ්බර ව සිටින පරිදි,
මවු කුස තුළදී මා නො මරන ලද නිසා ය.
18කරදර දුක් දකින පිණිස
මගේ දවස් නින්දාවෙන් කෙළවර කරන පිණිස,
මා කුමට මවු කුසෙන් බිහිවුණා ද?

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 20: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න