යෙරමියා 19

19
1 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ගොසින්, කුඹල්කරුගෙන් මැටි කළයක් මිලයට ගන්න. ජනයාගේ වැඩිහිටියන් කීප දෙනකු හා පූජකයින්ගේ වැඩිහිටියන් කීප දෙනකු කැටිව, 2පිටත් ව, බෙන්-හින්නොම් මිටියාවතේ කුඹල් දොරටු පිවිසුම අසලට ගොස්, මා ඔබට පවසන වචන එහිදී ප්‍රකාශ කරන්න. 3ඔබ කිය යුත්තේ, ‘එම්බා යූදා රජවරුනි, යෙරුසලමෙහි වාසය කරන්නෙනි, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙනු. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මෙන්න! අසන හැමගේ කන් පුපුරු ගස්වන තරමේ විපත්තියක් මේ ස්ථානය පිටට පමුණු වන්නට මා සූදානම්. 4මන්ද ඔවුන් මා අතැර, තමන්වත්, ඔවුන්ගේ පියවරුන්වත්, යූදා රජවරුන්වත් නො දත් අන්‍ය දෙවිවරුන්ට මෙතුළ පූජා ඔප්පු කළ නිසා ය. තවද ඔවුන් අහිංසකයින්ගේ ලෙයින් මෙතැන පිර වූ නිසා ය. 5තවද ඔවුහු බාල් දෙවියාට උස් පුදසුන් ගොඩ නගා, බාල්ට දවන පූජා වශයෙන් තම පුතුන් ගින්නෙහි පූජා කළහ. එවැන්නක් මා අණ කළේවත්, නියම කළේවත්, එවැන්නක් මගේ මනසට නැගුනේවත් නැත. 6එබැවින් මෙන්න, තවදුරටත් මේ ස්ථානය තොෆෙත් යනුවෙන් හෝ බෙන්-හින්නොම් මිටියාවත යනුවෙන් නො ව, ඝාතන මිටියාවත යනුවෙන් හැඳින්වෙන දවස් ළං වන්නේ යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
7“ ‘මෙතැනදී මම යූදාහි හා යෙරුසලමෙහි සැලසුම් සුන් කර#19:7 සුන් කර හෙබ්‍රෙව් බසින් මෙම වචනය උච්චාරණයෙන් කළය යන වචනයට සමාන ය. දමන්නෙමි. ඔවුන්ගේ දිවි තොර කරන්නට සොයන්නවුන් අතින් හා ඔවුන්ගේ සතුරන් ඉදිරියෙහි මම ඔවුන් කඩු මුවහතින් වැටෙන්නට සලස්වන්නෙමි. මම ඔවුන්ගේ මළ කඳන් අහසේ පක්ෂීන්ට ද පොළොවේ වන මෘගයින්ට ද ආහාර පිණිස දෙන්නෙමි. 8මම මේ පුරවරය සංත්‍රාසයක් කර, එය සමච්චලයට ලක් කරන්නෙමි. එය පසු කර යන අය ඊට සිදු වී ඇති සියලු තුවාල දැක, විස්මපත් වී, ඊට කවටකම් කරනු ඇත. 9මම ඔවුන්ට තමන්ගේ ම දූ පුතුන් කා දමන්නට සලසන්නෙමි. ඔවුන්ගේ දිවි තොර කරන්නට සොයන සතුරන් විසින් ඔවුන් වටලනු ලැබූ කල, ඔවුන් තම අසල්වැසි එකිනෙකාගේ මාංස කා දමනු ඇත.’
10“ඉන්පසු ඔබ සමඟ යන මිනිසුන් බලා සිටියදී ම කළය බිඳ, 11ඔවුනට මෙසේ කියන්න: ‘සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: යළි පිළිසකර කළ නො හැකි සේ බිඳ දමන ලද කුඹලාගේ කළය මෙන් මේ ජනයා ද මේ පුරවරය ද මම බිඳ දමන්නෙමි. වළලන්නට තවත් ඉඩ නැති වන තුරු, තොෆෙත්හි මළවුන් වළලනු ලබනු ඇත. 12මේ ස්ථානයටත්, එහි වෙසෙන්නවුන්ටත් මා කරන දේ එය යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම මේ පුරවරය තොෆෙත් මෙන් වන්නට සලස්සමි. 13සියලු ග්‍රහ මඬුලු අහස් සේනාවන්ට ගෙපියසි උඩ සුවඳ දුම් දවා, අන් දෙවිවරුන්ට පාන පූජා වැගිර වූ සියලු නිවෙස් හෙවත් යෙරුසලමේ නිවෙස් හා යූදා රජවරුන්ගේ නිවෙස් මේ ස්ථානය වන තොෆෙත් මෙන් දූෂ්‍ය වනු ඇත.’ ”
14ඉන්පසු යෙරමියා, තොෆෙත්හි සිට, දිවැසි වැකි කියනු පිණිස ස්වාමින්වහන්සේ විසින් ඔහු යවන ලද තැන්හි සිට, ආපසු අවුත්, ස්වාමින්වහන්සේගේ ගෘහ-මළුවෙහි නැගී සිට, මුළු ජනතාව ඇමතී ය. 15“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මෙන්න, මේ පුරවරයටත්, ඒ වටා ඇති ගම්වලටත් එරෙහිව මා විසින් ප්‍රකාශිත විපත්ති, මම ඒවා පිටට පමුණු වන්නෙමි. මන්ද තද මුරණ්ඩු පිරිසක් වන ඔවුන් මගේ වචනය අසන්නේ නැත.’ ”

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 19: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න