යෙරමියා 21

21
සෙදෙකියාගේ ඉල්ලීම දෙවියන්වහන්සේ ප්‍රතික්ෂේප කරයි
1සෙදෙකියා රජු විසින් මල්කීයාගේ පුත් පෂ්හූර් ද මාසේයාගේ පුත් පූජක සෙෆනියා ද යෙරමියා වෙත යැවූ කල, ස්වාමින්වහන්සේ වෙතින් යෙරමියා වෙත වචනය පැමිණියේ ය. ඔවුහු කතා කරමින්, 2“අප උදෙසා ස්වාමින්වහන්සේගෙන් විමසන්න; මන්ද බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් අපට එරෙහිව යුද්ධයට ඇවිත්; අප වෙතින් ඔහු ඉවත් ව යන හැටියට, ඇතැම් විට ස්වාමින්වහන්සේ පෙර කාලවලදී මෙන් අප උදෙසා පුදුම සිදු කරනු ඇතැ” යි කීහ.
3එවිට යෙරමියා ඔවුනට පිළිතුරු දෙමින්, “මෙසේ ඔබ සෙදෙකියාට කිව යුතු ය; 4‘ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඔන්න! නුඹලා සටන් වැද සිටින බබිලෝනි රජුට එරෙහිව හා පවුරට පිටත සිට නුඹලා වටලා සිටින කල්දිවරුන්ට එරෙහිව සටන් කරන්නට නුඹලා අත ඇති යුද්ධ ආයුධ, මම නුඹට එරෙහිව හරවමි. තවද මම ඔවුන් මේ නගර මධ්‍යයට ගෙන එන්නෙමි. 5කෝපයෙන් ද ක්‍රෝධයෙන් ද මහා උදහසින් ද යුතු ව, දිගු කළ හස්තයකින් හා බලගතු බාහුවකින් මම ම නුඹට එරෙහිව සටන් වදින්නෙමි. 6මේ නගරයේ වෙසෙන මිනිසුන්ට මෙන් ම සතුන්ට ද පහර දෙන්නෙමි. ඔවුන් දරුණු වසංගතයකින් මැරී යනු ඇත. 7ඉන් අනතුරුව ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ඉන්පසු මම යූදාහි රජු වූ සෙදෙකියාත්, ඔහුගේ නිලධාරිනුත්, වසංගතයෙන් ද කඩුවෙන් ද සාගතයෙන් ද ඉතිරි ව ජීවත් වන මේ නගර ජනයාත්, බබිලෝනි රජු වූ නෙබුකද්නෙසර් අතටත්, ඔවුන්ගේ දිවි තොර කරන්නට සොයන ඔවුන්ගේ එදිරිවාදීන් අතටත් දෙන්නෙමි. ඔහු කඩු මුවහතින් ඔවුන් ගසා හෙළනු ඇත. ඔහු ඔවුන්ට කරුණාවත්, දයාවත්, අනුකම්පාවත් දක්වන්නේ නැත.’
8“මේ ජනතාවට ඔබ මෙසේ ද කිව යුතු ය. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මෙන්න! ජීවනයේ මාර්ගයත්, මරණයේ මාර්ගයත් මම නුඹලා ඉදිරියේ තබමි. 9මේ නගරයෙහි නවතින කවරකු වුව, කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මියෙනු ඇත. එහෙත් නුඹලා වටලාගෙන සිටින කල්දිවරුන් වෙත පිටතට ගොස්, බාර වන කවරකු වුව ද ජීවත් වනු ඇත. ඔහු පණ ගලවා බේරී යන්නේ ය. 10මම මේ නගරයට සෙතක් නො ව, හානියක් කිරීමට අදිටන් කර සිටිමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. එය බබිලෝනි රජු අතට බාර දෙනු ලබන්නේ ය. ඔහු එය ගින්නෙන් විනාශ කරනු ඇත.’
11“තවද යූදා රාජකීය වංශයට මෙසේ පවසන්න: ‘ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙනු. 12එම්බා දාවිත් වංශය, ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘හැම උදයක, යුක්තිය ක්‍රියාවට නගන්න.
කොල්ලයට හසු වූ තැනැත්තා,
පීඩකයාගේ අතින් මුදා ගන්න.
නැතහොත් නුඹලා කළ දුෂ්ටකම් නිසා,
කිසිවකුටත් නිවන්නට බැරි ලෙස මගේ උදහස
ඇවිළී ගින්නක් මෙන් දවා දමනු ඇත.
13එම්බා මිටියාවතෙහි වසන්නනි,
එම්බා ගල් තැනිතලාව, මම නුඹට එරෙහි වෙමියි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“අපට එරෙහිව පැමිණිය හැක්කේ කවරකුට ද?
අපගේ රක්ෂස්ථානයට ඇතුළු විය හැක්කේ කවරකුට දැ?” යි ඔබ කියයි.
14එහෙත් නුඹ කළ දෑට පල දෙවමින් මම නුඹට දඬුවම් කරන්නෙමි’ යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
මම එහි වනය ගිනිලන්නෙමි.
ඒ වටා ඇති සියල්ල එයින් දැවී යනු ඇත.”

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 21: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න