යෙරමියා 18
18
කුඹල්කරු
1 ස්වාමින්වහන්සේ වෙතින් යෙරමියා වෙත පැමිණි වචනයයි මේ: 2“නැගිටින්න, කුඹල්කරුගේ ගෙදරට යන්න; එහිදී මගේ වචනය ඔබට ඇසෙන්නට සලසමි.” 3එබැවින් මම කුඹල්කරුගේ ගෙදරට ගියෙමි. ඔහු සකපෝරුවෙන් වැඩක යෙදී සිටිනු මම දැක්කෙමි. 4එහෙත් මැටිවලින් ඔහු හැඩගන්වමින් සිටි බඳුන, කුඹල්කරු අතෙහි නරක් විය. එබැවින් කුඹල්කරු තමාට යෙහෙකැයි පෙනුණු පරිදි හැඩගන්වමින්, එයින් වෙනත් බඳුනක් නිමැවී ය.
5එවිට ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: 6“එම්බා ඉශ්‍රායෙල් වංශය, මේ කුඹල්කරු කරන ලෙස, නුඹලා ගැන කටයුතු කරන්නට මට බැරි දැ?” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔන්න! එම්බා ඉශ්‍රායෙල් වංශය, කුඹල්කරුගේ අතේ මැටි සේ නුඹලාත් මා අතේ ය. 7යම් විටෙක, යම් ජාතියක් හෝ යම් රාජ්‍යයක් ගැන එය මුලිනුදුරා, බිඳ හෙළා, විනාශ කරන්නෙමියි මම කියම් ද, 8මවිසින් අනතුරු අඟවන ලද එම ජාතිය, තම දුෂ්ටකම ගැන පසුතැවිලි වේ නම්, මම සිත වෙනස් කර ගෙන, ඒ පිටට පමුණුවමැයි මා සැලසුම් කළ විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන්නෙමි. 9තවද යම් විටෙක, යම් ජාතියක් හෝ යම් රාජ්‍යයක් ගැන ගොඩ නගා, රෝපණ කරන්නෙමි” යි මම කියම් ද, 10මගේ ඇස් හමුවෙහි එය දුෂ්ටකම් කරමින්, මගේ කටහඬට සවන් නො දේ නම්, ඊට සලසන්නට මා අදහස් කළ යහපත ගැන අදහස වෙනස් කර ගැනීමට මට සිදු වනු ඇත.
11“එබැවින් දැන් යූදා ජනයාටත්, යෙරුසලම් වාසීන්ටත් මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මෙන්න! මම නුඹලාට එරෙහිව විපත්තියක් සකසන්නෙමි. නුඹලාට එරෙහිව සැලැස්මක් සම්පාදන කරමි. එබැවින් නුඹලා හැම කෙනකු ම නුඹලාගේ දුෂ්ට මාර්ගවලින් හැරී, නුඹලාගේ මාර්ග හා නුඹලාගේ ක්‍රියා පිළිවෙත හරිගස්සාගනු.’ 12එහෙත් ඔවුන් පිළිතුරු දෙමින්, ‘එයින් වැඩක් නැත. අපි අපේ ම සැලසුම් දිගට ම කරන්නෙමු. අපි හැම කෙනෙක් ම අපේ දුෂ්ට හදවත්වල මුරණ්ඩුකම අනුව කරන්නෙමු’ යි කියයි.”
13එබැවින්, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ජාතීන් අතරේ විමසා බලන්න:
කිසි කලෙක මෙවන් දෙයක් අසා ඇත්තේ කවුරු ද?
ඉශ්‍රායෙල් කන්‍යාවිය
මහත් භයංකර දෙයක් කර ඇත.
14ලෙබනොන්හි හිම
එහි පර්වත බෑවුම්වලින් පහ වී යා ද?
නැතහොත්, එහි එපිට උල්පත්වලින් එන
සිහිල් ජලය ගලා යෑම නවතී ද?
15එහෙත් මගේ ජනයා මා අමතක කළහ;
ඔවුහු බොරු දෙවිවරුන්ට පූජා ඔප්පු කරති.
ඉපැරණි පාරවල්හි ඒවා,
ඔවුන්ගේ මාර්ගවල ඔවුන් පැකිළ වී ය.
මහ මාවතේ නො ව අතුපාරවල
ගමන් කරන්නට ඔවුනට සැලසී ය.
16ඔවුන්ගේ දේශය, තැතිගන්වමින්
සදාතනික කසුකුසුවක් බවට පත් කෙරේ.
එය පසු කර යන සැවොම
සංත්‍රාසයෙන් යුතු ව හිස් වනති.
17නැගෙනහිර සුළඟ පරිද්දෙන් ඔවුන්ගේ සතුරන් ඉදිරියෙහි
මම ඔවුන් විසුරුවා හරින්නෙමි.
ඔවුන්ගේ විපත්ති දවසේ මම ඔවුන්ට
මගේ මුහුණ නො ව මගේ පිටුපස පෙන්වමි.”
18එවිට ඔවුහු, “එමු, අපි යෙරමියාට එරෙහිව උපායක් යොදමු. මන්ද පූජකයින් වෙතින් ව්‍යවස්ථාවවත්, ප්‍රඥාවන්තයින් වෙතින් උපදෙස්වත්, දිවැසිවරුන් වෙතින් දේව වචනයවත් නැති වී නො යන්නේ ය. එබැවින් එමු. අපි අපේ දිවෙන් ඔහුට පහර දෙමු. තවද ඔහු කියන කිසි දෙයක් ගණන් නො ගෙන ඉමු” යි කීහ.
19මට සවන් දෙන්න අහෝ ස්වාමින්වහන්ස,
මගේ එදිරිවාදීන්ගේ කටහඬට කන් දුන මැනවි.
20යහපතට, නපුරෙන් ප්‍රතික්‍රියා දැක්වීම යුතු ද?
මන්ද ඔවුහු මට වළක් හෑරූහ.
ඔබගේ උදහස ඔවුන් වෙතින් ඉවත හරවන පිණිස,
ඔවුන් උදෙසා කතා කරන්නට
මා ඔබ ඉදිරියේ පෙනී සිටි හැටි කල්පනාවට ගත මැනවි.
21එබැවින් ඔවුන්ගේ දරුවන්, සාගතයට බාරදුන මැනවි.
අසිපතේ බලයට ඔවුන් යටත් කළ මැනවි.
ඔවුන්ගේ භාර්යාවන් තම දරුවන් අහිමි වැන්දඹුවන් වේවා!
ඔවුන්ගේ පිරිමින් මරණයෙන් වැටී යත්වා!
ඔවුන්ගේ තරුණයින් යුද්ධයේදී කඩුවෙන් ඝාතන කරනු ලැබේවා.
22හදිසියේ ම ඔබ, කොල්ලකරුවන් ඔවුන් පිටට ගෙනා කල,
ඔවුන්ගේ ගෙවලින් විලාප දීමක් නැගේවා.
මන්ද ඔවුන් මා අසුකර ගන්නට වළක් හාරා,
මගේ පයට උගුල් ඇටවූ බැවිනි.
23එහෙත්, අහෝ ස්වාමින්වහන්ස,
මා මරන්නට යොදන ඔවුන්ගේ සියලු උපා ඔබ දන්නා සේක.
ඔවුන්ගේ අපරාධ කමා නො කළ මැනව;
ඔවුන්ගේ පාප ඔවුන්ගේ ඇස් හමුවෙන් මකා නො දැමුව මැනව.
ඔබ ඉදිරියෙහි ඔවුන් බිඳ හෙළා දමනු ලැබේවා.
ඔබගේ කෝප අවස්ථාවේදී ඔවුන් ගැන වග බලා ගත මැනව.
දැනට තෝරාගෙන ඇත:
යෙරමියා 18: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.