යෙරමියා 10

10
දෙවියන්වහන්සේ හා පිළිම
1ඔබට පවසන ස්වාමින්වහන්සේගේ වචනය අසන්න. එම්බා ඉශ්‍රායෙල් වංශය, 2ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ජාතීන්ගේ පිළිවෙත් ඉගෙන නො ගන්න.
අහස් ලකුණුවලට සංත්‍රාස නො වන්න,
ජාතීහු ඒවාට සංත්‍රාස වූවත්.
3මන්ද ජාතීන්ගේ චාරිත්‍ර, වැදගැම්මකට නැත.
ගසක් කැලයෙන් කපා ගැනේ.
ශිල්පීයයකු අතින්, නියනෙන් එය හැඩ ගැන්වෙයි.
4ඔවුහු එය රනින් ද රිදීයෙන් ද සරසති.
එය නො පෙරළෙන ලෙස
ඔවුහු ඇණය හා මිටිය යොදති.
5ඔවුන්ගේ පිළිම-දෙවියා කැකිරි වත්තක පඹයකු වැනි ය.
ඔවුනට කතා බැරි ය.
ඔවුන් ඔසවාගෙන යා යුතු ව ඇත.
මන්ද ඔවුන්ට ඇවිදිනු බැරි ය.
ඔවුනට භය නො වන්න.
මන්ද හානියක් කරන්නට ඒවාට බැරි ය.
කිසි හොඳක් කරන්නට ද ඒවාට නුපුළුවන.”
6ඔබ හා සමාන කෙනෙක් නැත, අහෝ ස්වාමින්වහන්ස.
ඔබවහන්සේ උතුම් ය;
ඔබගේ නාමය බලයෙන් පරාක්‍රමවත් ය.
7ඔබට භය පක්ෂපාතී නො වන්නේ කවුරු ද?
අහෝ ජාතීන්ගේ රජ්ජුරුවනි!
පක්ෂපාතීත්වය ලැබිය යුත්තා ඔබ ම ය.
මන්ද ජාතීන්ගේ සියලු ප්‍රඥාවතුන් අතරේ හා
ඔවුන්ගේ රාජධානි සියල්ල අතරේ
ඔබවහන්සේ හා සමාන කෙනකු නැත.
8ඔවුහු මොට්ට අනුවණයෝ ය.
පිළිමවල උපදෙස් ඇත්තෙන් ම ලීයෙනි.
9තර්ෂිෂ්හි සිට තැලූ රිදී ද ඌෆාස්හි සිට රන් ද ගෙනෙනු ලැබේ.
පිළිම ශිල්පියාගේ කාරියට හා
රන්කරුවාගේ දෑතින් නිම වූ රූපයට,
නිල් හා දම් පැහැති ඇඳුම් ය.
ඒ සියල්ල නිපුණ ශිල්පීන්ගේ කාරියන් ය.
10එහෙත් ස්වාමින්වහන්සේ සැබෑ දෙවියන්වහන්සේ ය;
උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේ ය; සදාතනික රජ්ජුරුවෝ ය.
උන්වහන්සේගේ උදහසට මහ පොළොව වෙවුලුම් කයි.
උන්වහන්සේගේ කෝපය දරන්නට ජාතීනට බැරි ය.
11“ඔබ ඔවුන්ට කිව යුත්තේ මෙයයි: ‘අහස් හා පොළොව නො මැවූ මේ දෙවිවරු පොළොවෙන් ද අහස යටින් ද විනාශ වී යනු ඇත#10:11 මෙම පදය මුලින් ලියා ඇත්තේ ඇරමෙයික් භාෂා‍වෙනි..’ ”
12එහෙත් ස්වකීය බලයෙන් පොළොව නිමැවූයේ දෙවියන්වහන්සේ ය.
ස්වකීය ප්‍රඥාවෙන් ලෝකය ස්ථාපන කළේ උන්වහන්සේ ය.
ස්වකීය අවබෝධයෙන් අහස විහිද වූයේ උන්වහන්සේ ය.
13උන්වහන්සේ තම කටහඬ නගන කල,
අහස් ජලය ඝෝෂා නගයි.
පොළොවේ ඈත කොන්වලින් උන්වහන්සේ මී-දුම නැග එන්නට සලසන සේක.
උන්වහන්සේ වැස්ස සමඟ විදුලිය එවා, තම ගබඩාවලින් සුළං පිටතට ගෙනෙන සේක.
14හැම මිනිසකු ම අනුවණ ය. දැනගැන්මෙන් තොර ය.
හැම රන්කරුවකු ම තමන්ගේ දේව පිළිම මගින් ලජ්ජාවට පත් කෙරේ.
මන්ද ඔහුගේ ප්‍රතිමා රැවටිල්ලකි;
ඒවා තුළ පණනල නැත.
15ඒවා පලක් නැත, සමච්චලයට ලක් වන දේවල් ය.
ඒවායේ විනිශ්චයේ අවස්ථාව පැමිණි කල, ඒවා විනාශ වී යයි.
16යාකොබ්ගේ පංගු කොටස වන තැනැන්වහන්සේ එබඳු නො වේ.
මන්ද උන්වහන්සේ, තම උරුම ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශයේ ද
සියලු දේහි ද මැවුම්කරුවාණන් ය.
උන්වහන්සේගේ නාමය, සේනාංකවල ස්වාමින්වහන්සේ ය.
පැමිණෙන විනාශය
17වටකරනු ලැබ සිටින්නෙනි, ඔබගේ බඩු පොළොවෙන්
එක්කාසු කර, පොදි බැඳ ගන්න.
18මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“මෙන්න දේශයේ වාසය කරන්නන්,
මේ වතාවේ මම ඉවතට විද දමන්නෙමි.
ඔවුනට දැනෙන්නට ම මම ඔවුන් පිට
විපත්තිය එවන්නෙමි.”
19මගේ පීඩාව නිසා මට දුක් වේ!
මගේ තුවාලය අසාධ්‍ය ය.
කෙසේ වෙතත් මම මෙසේ කියා ගත්තෙමි:
“සැබවින් ම මෙය මගේ පීඩාවයි. මා එය දරාගත යුතු ව ඇත.”
20මගේ කූඩාරම වනසනු ලැබ ඇත.
එහි රැහැන් සියල්ල කඩා දමනු ලැබ ඇත.
මගේ පුතුන් මා හැර ගොසිනි; ඔවුන් තවත් නැත.
මගේ කූඩාරම යළි දිග හැර,
එහි තිර පිහිටුවන්නට කෙනෙක් ඉතිරි ව නැත.
21එඬේරුන් මොට්ටයින් ව,
ස්වාමින්වහන්සේගෙන් විමසන්නේ නැත.
එබැවින් ඔවුන් සඵලවත් නො වේ.
ඔවුන්ගේ මුළු එළු බැටළු රංචු විසුරුවනු ලැබේ.
22කටහඬක්! දූසමාන ආරංචියක්! අන්න! එය පැමිණේ.
උතුරු දේශයේ සිට එන මහ කෝලාහලයක හඬක්.
එය යූදාහි නගර පාළුවට යවා,
සිවලුන්ගේ තිප්පොළක් බවට ඒවා පත් කරනු ඇත.
යෙරමියාගේ යාච්ඤාව
23මම දනිමි, අහෝ ස්වාමින්වහන්ස, මිනිසාගේ මාර්ගය ඔහුට අයිති නැති වග,
ඔහුගේ ගමන් මග තීරණය කිරීම, ඔහුගේ කාරිය නො වන වග.
24අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ යුක්තියට අනුව, මා නිවැරදි කළ මැනවි;
මා නිෂ්ඵලතාවට පත් නො කෙරෙන පිණිස,
ඔබගේ කෝපයෙන් නො වේ.
25ඔබගේ උදහස වගුළ මැනව,
ඔබ නො පිළිගත් ජාතීන් පිට හා
ඔබගේ නාමයෙන් යාච්ඤා නො කරන ජනයා පිට.
මන්ද ඔවුහු යාකොබ් ගිල දැමූහ.
මුළුමනින් ම ඔහු ගිල දැමූ ඔවුන්
ඔහුගේ වාස භූමිය ද නාස්ති කර දමා ඇත.

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 10: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න