යෙරමියා 10:1-22
යෙරමියා 10:1-22 SCV
ඔබට පවසන ස්වාමින්වහන්සේගේ වචනය අසන්න. එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ජාතීන්ගේ පිළිවෙත් ඉගෙන නො ගන්න. අහස් ලකුණුවලට සංත්‍රාස නො වන්න, ජාතීහු ඒවාට සංත්‍රාස වූවත්. මන්ද ජාතීන්ගේ චාරිත්‍ර, වැදගැම්මකට නැත. ගසක් කැලයෙන් කපා ගැනේ. ශිල්පීයයකු අතින්, නියනෙන් එය හැඩ ගැන්වෙයි. ඔවුහු එය රනින් ද රිදීයෙන් ද සරසති. එය නො පෙරළෙන ලෙස ඔවුහු ඇණය හා මිටිය යොදති. ඔවුන්ගේ පිළිම-දෙවියා කැකිරි වත්තක පඹයකු වැනි ය. ඔවුනට කතා බැරි ය. ඔවුන් ඔසවාගෙන යා යුතු ව ඇත. මන්ද ඔවුන්ට ඇවිදිනු බැරි ය. ඔවුනට භය නො වන්න. මන්ද හානියක් කරන්නට ඒවාට බැරි ය. කිසි හොඳක් කරන්නට ද ඒවාට නුපුළුවන.” ඔබ හා සමාන කෙනෙක් නැත, අහෝ ස්වාමින්වහන්ස. ඔබවහන්සේ උතුම් ය; ඔබගේ නාමය බලයෙන් පරාක්‍රමවත් ය. ඔබට භය පක්ෂපාතී නො වන්නේ කවුරු ද? අහෝ ජාතීන්ගේ රජ්ජුරුවනි! පක්ෂපාතීත්වය ලැබිය යුත්තා ඔබ ම ය. මන්ද ජාතීන්ගේ සියලු ප්‍රඥාවතුන් අතරේ හා ඔවුන්ගේ රාජධානි සියල්ල අතරේ ඔබවහන්සේ හා සමාන කෙනකු නැත. ඔවුහු මොට්ට අනුවණයෝ ය. පිළිමවල උපදෙස් ඇත්තෙන් ම ලීයෙනි. තර්ෂිෂ්හි සිට තැලූ රිදී ද ඌෆාස්හි සිට රන් ද ගෙනෙනු ලැබේ. පිළිම ශිල්පියාගේ කාරියට හා රන්කරුවාගේ දෑතින් නිම වූ රූපයට, නිල් හා දම් පැහැති ඇඳුම් ය. ඒ සියල්ල නිපුණ ශිල්පීන්ගේ කාරියන් ය. එහෙත් ස්වාමින්වහන්සේ සැබෑ දෙවියන්වහන්සේ ය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේ ය; සදාතනික රජ්ජුරුවෝ ය. උන්වහන්සේගේ උදහසට මහ පොළොව වෙවුලුම් කයි. උන්වහන්සේගේ කෝපය දරන්නට ජාතීනට බැරි ය. “ඔබ ඔවුන්ට කිව යුත්තේ මෙයයි: ‘අහස් හා පොළොව නො මැවූ මේ දෙවිවරු පොළොවෙන් ද අහස යටින් ද විනාශ වී යනු ඇත.’ ” එහෙත් ස්වකීය බලයෙන් පොළොව නිමැවූයේ දෙවියන්වහන්සේ ය. ස්වකීය ප්‍රඥාවෙන් ලෝකය ස්ථාපන කළේ උන්වහන්සේ ය. ස්වකීය අවබෝධයෙන් අහස විහිද වූයේ උන්වහන්සේ ය. උන්වහන්සේ තම කටහඬ නගන කල, අහස් ජලය ඝෝෂා නගයි. පොළොවේ ඈත කොන්වලින් උන්වහන්සේ මී-දුම නැග එන්නට සලසන සේක. උන්වහන්සේ වැස්ස සමඟ විදුලිය එවා, තම ගබඩාවලින් සුළං පිටතට ගෙනෙන සේක. හැම මිනිසකු ම අනුවණ ය. දැනගැන්මෙන් තොර ය. හැම රන්කරුවකු ම තමන්ගේ දේව පිළිම මගින් ලජ්ජාවට පත් කෙරේ. මන්ද ඔහුගේ ප්‍රතිමා රැවටිල්ලකි; ඒවා තුළ පණනල නැත. ඒවා පලක් නැත, සමච්චලයට ලක් වන දේවල් ය. ඒවායේ විනිශ්චයේ අවස්ථාව පැමිණි කල, ඒවා විනාශ වී යයි. යාකොබ්ගේ පංගු කොටස වන තැනැන්වහන්සේ එබඳු නො වේ. මන්ද උන්වහන්සේ, තම උරුම ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශයේ ද සියලු දේහි ද මැවුම්කරුවාණන් ය. උන්වහන්සේගේ නාමය, සේනාංකවල ස්වාමින්වහන්සේ ය. වටකරනු ලැබ සිටින්නෙනි, ඔබගේ බඩු පොළොවෙන් එක්කාසු කර, පොදි බැඳ ගන්න. මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මෙන්න දේශයේ වාසය කරන්නන්, මේ වතාවේ මම ඉවතට විද දමන්නෙමි. ඔවුනට දැනෙන්නට ම මම ඔවුන් පිට විපත්තිය එවන්නෙමි.” මගේ පීඩාව නිසා මට දුක් වේ! මගේ තුවාලය අසාධ්‍ය ය. කෙසේ වෙතත් මම මෙසේ කියා ගත්තෙමි: “සැබවින් ම මෙය මගේ පීඩාවයි. මා එය දරාගත යුතු ව ඇත.” මගේ කූඩාරම වනසනු ලැබ ඇත. එහි රැහැන් සියල්ල කඩා දමනු ලැබ ඇත. මගේ පුතුන් මා හැර ගොසිනි; ඔවුන් තවත් නැත. මගේ කූඩාරම යළි දිග හැර, එහි තිර පිහිටුවන්නට කෙනෙක් ඉතිරි ව නැත. එඬේරුන් මොට්ටයින් ව, ස්වාමින්වහන්සේගෙන් විමසන්නේ නැත. එබැවින් ඔවුන් සඵලවත් නො වේ. ඔවුන්ගේ මුළු එළු බැටළු රංචු විසුරුවනු ලැබේ. කටහඬක්! දූසමාන ආරංචියක්! අන්න! එය පැමිණේ. උතුරු දේශයේ සිට එන මහ කෝලාහලයක හඬක්. එය යූදාහි නගර පාළුවට යවා, සිවලුන්ගේ තිප්පොළක් බවට ඒවා පත් කරනු ඇත.

