යෙසායා 9

9
1එසේ වුව ද සන්තාපයෙහි සිටියවුනට තවදුරටත් දුකඳුරක් නො වනු ඇත. ඉහතදී උන්වහන්සේ සාබුලොන් දේශය හා නෆ්තලී දේශය අවඥාවට ලක් කළ නමුදු, යොර්දානෙන් එතෙර මුහුදු මාවතේ ජාතීන්ගේ ගලීලය අනාගතයේදී මහිමයට පමුණුවනු ඇත.
2අන්ධකාරයේ ඇවිදන ජනයා,
මහත් ආලෝකයක් දුටහ.
ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත
එළියක් උදා විණ.
3ඔබ, ජාතිය පුළුල් කළ සේක්,
ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක.
අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ,
කොල්ලය බෙදා ගන්නා කල
මිනිසුන් ප්‍රීති වන්නා සේ,
ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති.
4මිදියන්වරුන්ගේ පරාජයේ දවසේ මෙන්
ඔබ ඔවුනට බර පැටවුණු වියගහ ද
ඔවුන්ගේ කර මත වූ වියකඳ ද
ඔවුන්ගේ පීඩකයාගේ මුගුර ද
සිඳ-බිඳ ලූ සේක.
5රණවිරුවකු යුද්ධයට පැලඳි හැම පාවහන් ද
ලේ වැකුණු හැම ඇඳුමක් ද
දවාලීමට නියමිත ය.
ඒවා ගින්නට ඉන්ධන වේ.
6මන්ද අපට දරුවෙක් උපන්නේ ය.
අපට පුතෙක් දෙන ලද්දේ ය.
ආණ්ඩුව උන්වහන්සේගේ උර මත වන්නේ ය.
උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ:
අසිරිමත් උපදේශකයාණෝ ය; පරාක්‍රමවත් දෙවිඳාණෝ ය;
සදාතනික පියාණෝ ය; සාමයේ කුමරාණෝ ය යන නාමයෙනි.
7උන්වහන්සේගේ රාජ්‍යයේ වර්ධනයට හා සාමයට
නිමක් නො වන්නේ ය.
යුක්තිය හා දමිටුකමින් ස්වකීය රාජ්‍ය පිහිටුවමින් ද
එය තහවුරු කරමින් ද
එතැන් පටන් සදහටමත්
දාවිත්ගේ සිහසුනේ
උන්වහන්සේ රජකම් කරන සේක.
මෙය ඉටුකරලනු ඇත්තේ,
සේනාංකවල ස්වාමින්වහන්සේගේ දැල්වෙන උද්යෝගයයි.
ඉශ්‍රායෙල්ට එරෙහිව
8ස්වාමින්වහන්සේ යාකොබ්ට එරෙහි වචනයක් එවා ඇත.
එය ඉශ්‍රායෙල් පිට පතිත වනු ඇත.
9මුළු ජනයා,
එප්‍රායිම් හා සමාරි වාසීන් එය දැනගනු ඇත.
උඩඟුවෙන් ද හදවතේ අහංකාරයෙන් ද යුතු ව
ඔවුහු, මෙසේ කියති:
10“ගඩොල් ගරා වැටී ගියත්,
කැපූ ගලින් අපි ගොඩ නගන්නෙමු.
අත්තික්කා ගස්, පෙරළා දමනු ලැබුවත්,
අපි ඒ වෙනුවට දේවදාර යොදන්නෙමු.”
11එබැවින් ස්වාමින්වහන්සේ ඔවුනට එරෙහිව, රෙසීන්ගේ එදිරිවාදීන් නැගිටුවන සේක.
ඔවුන්ගේ සතුරන් පොලඹවන සේක.
12නැගෙනහිරින් අරාම්වරුන් ද බටහිරින් පිලිස්තිවරුන් ද
මුව ඇර, ඉශ්‍රායෙල් ගිල දමා ඇත.
එහෙත් මේ සියල්ල මෙසේ වීත්, උන්වහන්සේගේ කෝපය පහව ගොස් නැත.
උන්වහන්සේගේ හස්තය, තවමත් එසැවුණු ගමන් ය.
13එහෙත් තමනට පහර දුන් තැනැන්තාණන් වෙත ජනයා ආපසු ආවේ නැත;
ඔවුන් සේනාංකවල ස්වාමින්වහන්සේ විමසුවේ ද නැත.
14එබැවින් ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් වෙතින් හිස සහ වලිගයත්,
ඉඳි ගස් අත්ත හා බට දණ්ඩත්, එක ම දවසේ කපා හරින සේක.
15හිස, වැඩිහිටියා හා උත්තමයා ය.
වලිගය, බොරු උගන්වන දිවැසිවරයා ය.
16මන්ද මේ ජනතාවට මග පෙන්වන්නෝ, ඔවුන් මංමුළා කරවති.
මග පෙන්වීම් ලද්දෝ මංමුළා වූවෝ ය.
17එබැවින් ස්වාමින්වහන්සේ තරුණයින් ගැන ප්‍රසන්න නො වනු ඇත.
ඔවුන්ගේ පියා නැති අනාථයින්ට හා වැන්දඹුවනට අනුකම්පා නො කරනු ඇත.
මන්ද හැම කෙනෙක් ම දේව භක්තියක් නැති-දුෂ්ටයින් ය.
හැම මුවක් ම පවසන්නේ බොරුව ය.
එහෙත් මේ සියල්ල මෙසේ වීත්, උන්වහන්සේගේ කෝපය පහව ගොස් නැත.
උන්වහන්සේගේ හස්තය, තවමත් එසැවුණු ගමන් ය.
18දුෂ්ටකම ගින්නක් සේ ඇවිළෙයි.
එය ගොකටු ද කටු ගස් ද දවාලයි.
දුම් කඳක් ව එතී, ඉහළ නැගෙන පරිද්දෙන්,
එය මහා ඝන වනාන්තරය පවා අවුළුවා දමයි.
19සේනාංකවල ස්වාමින්වහන්සේගේ උදහසින්
දේශය දවාලනු ලබයි.
ජනතාව ගින්නට දර වනු ඇත.
එකකු අනෙකා ව බේරන්නේ නැත.
20දකුණු පැත්තේ ඔවුන් ගිල දමන නමුදු,
තවමත් කුස ගිනි දැනේ.
වම් පැත්තේ ඔවුන් අහර බුදින නමුදු,
සෑහීමට පත් නො වේ.
හැම කෙනෙක් ම තම බාහුව වුව කා දමයි.
21මනස්සේ, එප්‍රායිම් කා දමයි. එප්‍රායිම්, මනස්සේ කා දමයි.
ඒ දෙගොල්ල එක් වී, යූදාට එරෙහි වනු ඇත.
එහෙත් මේ සියල්ල සිදුවීත්, උන්වහන්සේගේ කෝපය පහව ගොස් නැත.
උන්වහන්සේගේ හස්තය, තවමත් එසැවුණු ගමන් ය.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 9: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න