යෙසායා 10

10
1අයුක්ති සහගත නියමයන් නියම කරන්නට හා
පීඩාදායි නියෝග ලියන ලියන්නන්ට දුක් පැමිණේ!
2ඒවා පැනවෙන්නේ, දුප්පතුන්ගේ අයිතිවාසිකම් අහිමි කරන්නටත්,
මගේ ජනයා අතර පීඩිතයින්ගෙන් යුක්තිය වළක්වන්නටත්,
වැන්දඹු කතුන් තමන්ගේ ගොදුර කර ගැනීමටත්,
පියා නැති අනාථ දරුවන් කොල්ලකෑමටත් ය.
3ගණන් දෙන්නට වන දවසේ, ඈත එපිටින් විපත්තිය පැමිණි කල,
ඔබ කරන්නේ කුමක් ද?
පිහිට පතා ඔබ දිව යන්නේ කවුරුන් වෙත ද?
ඔබේ ඉසුරු ඔබ දමා යන්නේ කොතැනක ද?
4සිරකරුවන් කොට අල්ලාගත්තවුන් අතරේ නැමී-ලගින්නට හෝ
මැරුම් කෑවුන් අතරේ වැටී යෑමට මිස කිසිවකුත් ඉතිරි නො වනු ඇත.
එහෙත් මේ සියල්ල සිදුවීත්, උන්වහන්සේගේ කෝපය පහව ගොස් නැත.
උන්වහන්සේගේ හස්තය, තවමත් එසැවුණු ගමන් ය.
අසිරියාව කෙරේ දෙවියන්වහන්සේගේ විනිශ්චය
5මගේ උදහසේ මුගුර තම අතේ දරන,
මගේ කෝපයේ යෂ්ටිය වන අසිරියාවට දුක් වේ.
6අභක්තික ජාතියකට එරෙහිව මම ඔහු යවන්නෙමි.
මා කෝප කළ ජනතාවකට එරෙහිව
ඔවුන්ගෙන් කොල්ලකෑමටත්, පැහැර ගැනීමටත්,
වීදිවල මඩ මෙන් ඔවුන් පයින් පාගා දැමීමටත් මම ඔහුට නියම කරමි.
7එහෙත් ඔහු අදහස් කරන්නේ එය නො වේ.
ඔහුගේ හදේ ඇත්තේ එය නො වේ.
ඔහුගේ අරමුණ විනාශ කිරීම ය.
බොහෝ ජාතීන් වනසා දැමීම ය.
8“මගේ සෙන්පතීන් සැවොම රජවරු නො වෙත් දැ?” යි ඔහු උදම් අනමින්,
9“කල්නෝ, කර්කෙමිෂ් වාගේ නො වේ ද?
හමාත්, අර්පාද් වාගේ නො වේ ද?
සමාරිය, දමස්කය වාගේ නො වේ ද?
10යෙරුසලමේ හා සමාරියේ පිළිම රූප පරදවන තරමේ
දේව පිළිම ඇති රාජ්‍යයන් මා අතින් යටත් කර ගත් සේ,
11සමාරියට හා ඇගේ පිළිම රූපවලට මා කළ ලෙස ම,
යෙරුසලමට හා ඇගේ පිළිමවලට නො කරම් දැ?” යි පවසයි.
12ස්වාමින්වහන්සේ, සියොන් කන්දට හා යෙරුසලම පිට ස්වකීය සියලු කටයුතු සම්පූර්ණ කළ පසු, අසිරියාවේ රජුගේ අහංකාර හදවතේ කතාවට හා ඔහුගේ ඇස්වල උදාරම් බවටත් දඬුවම් කරනු ඇත. 13මන්ද, ඔහු මෙසේ කියයි:
“මගේ ම අතේ සවියෙන් හා මගේ ප්‍රඥාවෙන් මම ඒ දෑ කළෙමි.
මන්ද මට දැනගැන්ම ඇත.
ජාතීන්ගේ දේශ සීමා මම ඉවත් කළෙමි.
ඔවුන්ගේ ධන-නිධාන මම පැහැර ගතිමි.
බලවන්තයකු පරිද්දෙන් මම, එහි වැසියන් යටත් කළෙමි.
14මගේ අත, ජාතීන්ගේ වස්තුව සොයා ගත්තේ
කුරුලු කූඩුවකට අතලන්නා සේ ය.
අත්හැර දමන ලද බිත්තර එකතු කරන කෙනකු සේ
මුළු පොළොව ම මම එකතු කළෙමි.
ඉන් එකෙක් හෝ අත් තටුවකුදු නො සැලී ය.
‘කිචි-බිචි’ ගෑමට මුව විවර නො කළේ ය.”
15පොරොව එය ඔසවන තැනැත්තාට වඩා පුරසාරම් දොඩනු ඇත් ද?
කියත, එය පාවිච්චි කරන්නාට එරෙහිව උදම් අනයි ද?
එය හරියට, ඉපල විසින් එය එසවූ අය ඔසවනු ලැබුවා වැන්න.
මුගුර විසින් ලීය නො වන කෙනකු ලෙළවූවා වැන්න.
16එබැවින්, ස්වාමින්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ,
ඔහුගේ තරබාරු රණවිරුවන් මත ක්ෂය කරන රෝගයක් එවනු ඇත.
ඔහුගේ තේජස යටින් ඇවිළෙන ගිනි දැල්ලක් බඳු
ගින්නක් ඇවිළී යනු ඇත.
17ඉශ්‍රායෙල්ගේ ආලෝකයාණෝ ගින්නක් වන සේක.
උන්වහන්සේගේ ශුද්ධ තැනැත්තාණන් ගිනි දැලක් වී,
එක ම දවසකදී
ඔහුගේ කටු හා ගොකටු පුළුස්සා දවාලනු ඇත.
18ඔහුගේ වනාන්තරවල අලංකාරය හා සාරවත් දේශය,
එහි ජීවය හා ශරීරය පිටින් එය විසින් සම්පූර්ණයෙන් ම විනාශ කර දමනු ඇත්තේ,
රෝගී මිනිසකු ක්ෂය වී යන්නා සේ ය.
19ඔහුගේ වනාන්තරවල ඉතිරි වන ගස් කොතරම් අල්ප වේ දැයි කිවහොත්
කුඩා දරුවකුට වුව එහි ගණන ලියන්නට හැකි වනු ඇත.
ඉශ්‍රායෙල්ගේ ඉතිරි ස්වල්ප දෙනා
20ඒ දවසේ ඉශ්‍රායෙල්හි ඉතිරි ස්වල්ප දෙනා ද
යාකොබ් වංශයේ ජීවත් ව, ඉතිරි ව සිටින අය ද
තමන්ට පහර දුන් අය මත
තවත් විශ්වාසය නො තබා,
ස්වාමින්වහන්සේ මත,
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ මත සැබවින් ම විශ්වාසය තබනු ඇත.
21ඉතිරි ස්වල්ප දෙනකු, යාකොබ් වංශික ඉතිරි ස්වල්ප දෙනකු,
පරාක්‍රමවත් දෙවියන්වහන්සේ වෙත ආපසු එනු ඇත.
22එම්බා ඉශ්‍රායෙල්, නුඹේ ජනතාව වන ඉශ්‍රායෙල්, මුහුදේ වැලි මෙන් වුව ද,
ආපසු එනු ඇත්තේ ඉතිරි ස්වල්ප දෙනකු පමණි.
දමිටුකම උතුරා යමින්
විනාශයක් නියම කර ඇත.
23සමස්ත දේශය මතට නියම කරන ලද විනාශය,
ස්වාමින්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ, ක්‍රියාත්මක කරන සේක.
24එබැවින් ස්වාමින්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ කියන්නේ මෙයයි:
“සියොනෙහි වෙසෙන අහෝ මගේ ජනයිනි,
ඊජිප්තුවරුන් කළාක් මෙන් නුඹලාට එරෙහිව මුගුර ඔසවන,
සැරයටියකින් නුඹලාට පහර දෙන
අසිරියාවරුන්ට භය නො වන්න.
25නුඹලාට එරෙහි මගේ උදහස නිම වන්නේ ය.
ඉන්පසු මගේ කෝපය ඔවුන්ගේ විනාශය සඳහා යොමුවනු ඇත.”
26සේනාංකවල ස්වාමින්වහන්සේ ඔරේබ් පර්වතයේදී මිදියන්වරුන්ට පහර දුන් ලෙස,
මොවුනටත් කසයකින් පහර දෙනු ඇත.
තවද උන්වහන්සේ ඊජිප්තුවේදී කළාක් මෙන්
උන්වහන්සේගේ සැරයටිය මුහුදට ඉහළින් එය ඔසවනු ඇත.
27ඒ දවසේ ඔවුන්ගේ බර ඔබේ කර මතින් ද
ඔවුන්ගේ වියගහ ඔබේ ගෙල මතින් ද ඉවත් කරනු ලැබේ.
ඔබ, තර වී සිටින බැවින්
වියගහ කැඩී යනු ඇත.
28ඔහු අය්යාත් පෙදෙසට ආවේ ය.
මිග්‍රෝන් ඔස්සේ යන්නේ ය.
ඔහු තම භාණ්ඩ මික්මාස්හි ගබඩා කරන්නේ ය.
29කඳු මංකඩ පසු කර ගිය ඔවුහු,
රැයේ ගෙබාහි ලැගුම් ගනිති.
රාමා වෙවුලයි.
සාවුල්ගේ ගිබෙයා පලා යයි.
30අහෝ ගල්ලීම් දියණියනි, කෑ මොර දෙන්න.
එම්බා ලයිෂා,
අසරණ අනාතොත් සවන් දෙන්න.
31මද්මේනා දුවන්නේ ය.
ගේබීම්හි ජනයා රැකවරණ සොයා පලා යති.
32මේ දවසේ ඔවුහු නොබ්හි නතර වෙති.
යෙරුසලම් කඳු ගැටය දෙසට,
සියොන් දියණියගේ කන්ද දෙසට,
ඔහු අත්මිටි මොළවා, ලෙළවනු ඇත.
33මෙන්න! ස්වාමින්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ,
මහා බලයෙන් යුතු ව අතු ඉති රැහැ දමනු ඇත.
අහංකාර ගස් කපා දමනු ලැබේ.
උසස් ඒවා පහත් කරනු ලැබේ.
34උන්වහන්සේ වන-ලැහැබ්, පොරොවකින් කපා හෙළනු ඇත.
පරාක්‍රමයාණන් අබියස ලෙබනොන් වැටී යනු ඇත#10:34 මෙම වාක්‍යයේ අරුත හෙබ්‍රෙව් බසින් පැහැදිලි නැත..

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 10: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න