යෙසායා 46
46
දේව පිළිම හා දෙවියන්වහන්සේ
1බේල් දෙවි බිමට නැමෙයි. නෙබෝ දෙවි වක ගැසෙයි.
ඔවුන්ගේ පිළිම මෘගයින් හා ගවයින් මත ය.
ඔබ උසුලාගෙන යන-එනු ලබන ඒවා ඉසිලීම දුෂ්කර ය.
වෙහෙස වූ මෘගයන්ට එය බරකි.
2ඔවුහු වක ගැසෙති. එක් ව, බිමට නැමෙති;
ඒ බර ගලවාගත නො හැකි ව,
තුමූම වහල්කමට හසුව යති.
3“මට සවන් දෙන්න, එම්බා යාකොබ් වංශිකයිනි,
ඉශ්රායෙල් වංශයේ ඉතිරි ව සිටින සියල්ලෙනි,
ඔබගේ උපතටත් පළමු, මා විසින් උසුලාගෙන ගිය ඔබ
මවු කුස පටන් මම ඔබ ගෙන ආවෙමි.
4ඔබගේ මහලු විය දක්වාත්, මම උන්වහන්සේ ය;
ඔබගේ කෙස් පැසුණු කල්හිත්, මම ඔබ දරන්නෙමි.
මම ඔබ සෑදුවෙමි; මම ඔබ උසුලාගෙන යන්නෙමි.
මම ඔබ දරන්නෙමි; මම ඔබ මුදන්නෙමි.
5“ඔබ, මා සසඳන්නේ කවරකුට ද? මා හා සමාන යයි සැලකෙන්නේ කවුරු ද?
අප සසඳා බලන පිණිස, ඔබ මා සමාන කරන්නේ කවරකුට ද?
6තම පසුම්බියෙන් රත්රන් බහුල ව වගුරු වන ඇතැම්හු
තරාදිවලින් රිදී කිරා දෙමින්,
රන්කරුවකු කුලියට ගෙන, එයින් දෙවියකු සාදා ගෙන,
ඉන්පසු ඊට වැඳ වැටෙමින්, නමදිති.
7ඔවුහු එය ඔසවා, කරපිටින් ගෙන ගොස්,
ඊට නියමිත තැන පිහිටුවති. සිට වූ තැන ම රඳනු විනා,
එතැනින් සෙලවෙන්නට වත් ඊට බැරි ය.
යමකු ඊට මොර ගසා කතා කළත්, එය පිළිතුරු නො දෙයි.
ඔහුගේ විපතින් ඔහු මුදන්නට ඊට නුපුළුවන.
8“එම්බා අපරාධකරුවනි, මෙය සිහි තබාගෙන, නො සැලී සිටිනු.
මනසේ එය සවි කර ගනු.
9ඈත අතීතයෙහි වූ යටගිය දෑ සිහි කරන්න.
මන්ද දෙවියන්වහන්සේ මම ය. වෙනත් කෙනකු නැත.
දෙවියන්වහන්සේ මම ය. මා හා සමාන කිසිවකු නැත.
10මම අවසානය, පටන් ගැන්මේදී ම හෙළි කරන්නෙමි.
මතු සිදුවන දෑ ගැන, ඈත පුරාණයේදී ම කීවෙමි.
‘මගේ අරමුණ දිගට ම පවතී.
මට රිසි හැම දේ මම කරන්නෙමි’ යි මම කියමි.
11නැගෙනහිර සිට මම, ගිජු පක්ෂියෙකු කැඳවන්නෙමි;
මගේ අරමුණ ඉටු කරන්නට, දුර ඈත දේශයකින් මිනිසකු කැඳවන්නෙමි.
මා පැවසූ දෑ මම ඉටුවන්නට සලසමි.
මා සැලසුම් කළ දෑ මම සිදු කරමි.
12මුරණ්ඩු හදවත් ඇත්තෙනි,
දමිටුකමින් දුරස්ථ ව සිටින්නෙනි, මට සවන් දෙනු.
13මම මගේ දමිටුකම ළඟා කරන්නෙමි.
එය ඈත එපිට නො වේ.
මගේ ගැලවීම පමා නො වේ.
මගේ ගැලවීම සියොනටත්,
මගේ තේජශ්‍රීය ඉශ්රායෙලයටත් මම ප්‍රදාන කරන්නෙමි.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 46: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.