යෙසායා 29

29
දාවිත් පුරය ගැන
1අහෝ අරියෙල්; අරියෙල්,
දාවිත් කඳවුරු ගැසූ පුරවරය!
වසරින් වසර එකතු කරමින්,
නුඹලාගේ උත්සව කාල චක්‍රය කැරකුනා වේ.
2එහෙත් මම අරියෙල් දුකට පත් කරන්නෙමි.
එවිට එහි වැලපීමත්, විලාප දීමත් වේ.
එකල ඇය මට අරියෙල්#29:2 අරියෙල් එනම් පූජාසන උදුනක් මෙන් වන්නේ ය.
3මම නුඹට එරෙහිව නුඹ වට කොට, කඳවුරු බඳින්නෙමි.
කුලුනුවලින් නුඹ වට කොට,
මම නුඹට එරෙහිව යුද්ධ ගොඩැලි තනා ගන්නෙමි.
4පහත් කරනු ලැබ, පොළොවේ සිට නුඹ කතා කරනු ඇත.
නුඹේ කතාව, දූවිල්ලෙන් එන හීන් කෙඳිරියක් වනු ඇත.
නුඹේ කටහඬ, අවතාරයක හඬක් මෙන් පොළොවෙන් නික්මෙනු ඇත.
නුඹේ කතාව, දූලියේ සිට කෙරෙන කෙඳිරීමක් වනු ඇත.
5එහෙත් නුඹේ විදෙස් සතුරන් සමූහයා සිහින් දූවිල්ල හා සමාන වනු ඇත.
රුදුරු සමූහයා බොල් පොතු වාගේ වනු ඇත.
හදිසියේ ම එක් සැණෙක,
6සේනාංකවල ස්වාමින්වහන්සේ
මේඝ ගර්ජනාවක් ද පොළෝ කම්පාවක් ද මහා ඝෝෂාවක් ද
සුළි සුළඟක් ද චණ්ඩ මාරුතයක් ද දවා-වනසන ගිනි දළු ද සමඟ ඔබ වෙත පැමිණෙන සේක.
7එවිට අරියෙල්ට එරෙහිව සටන් වදින,
ඇයටත්, ඇගේ බළකොටුවටත් පහර දී, ඇය විපතට හෙළන සියලු ජාතික සමූහයා,
සිහිනයක් මෙන් වනු ඇත;
රැයේ දකින දර්ශනයක් මෙන් වනු ඇත.
8එය, කුස ගිනි මිනිසකු හීනෙන් අහර බුදිනු දකින්නා වැනි ය;
ඔහු පිබිදුණු කල, ඔහුගේ කුසගින්න සංසිඳී නැත.
එය, පිපාසිත මිනිසකු හීනෙන් දිය බොනු දකින්නා වැනි ය;
ඔහු පිබිදුණු කල, ඔහුගේ පිපාසය සංසිඳී නැත.
සියොන් කන්දට එරෙහිව සටන් වදින
සියලු ජාතික සමූහයාට වන්නේ ද එය ම ය.
9බිරංතට්‍ටු වී, නුඹලා ම විස්මපත් වෙයල්ලා.
තමන් ම අන්ධ කර ගෙන, අන්ධ ව සිටිල්ලා.
බීමත් වෙයල්ලා. හැබැයි මිදි යුෂවලින් නො වේ.
වැනි වැනී ගමන් කරපල්ලා. හැබැයි සුරාමතින් නො වේ.
10 ස්වාමින්වහන්සේ ගැඹුරු නින්දක ආත්මයක් නුඹ පිට පමුණුවා ඇත.
ඔබේ ඇස වූ අනාගතවක්තෘවරුන් උන්වහන්සේ මුද්‍රා තබා ඇත;
ඔබේ හිස වූ පේන කියන්නන් උන්වහන්සේ වසා දමා ඇත.
11මන්ද මේ මුළු දර්ශනය ඔබට මුද්‍රා තබන ලද පොතක වචන බවට පත් ව ඇත; කියවිය හැකි කෙනකු අතට ඒ පොත දී, “මෙය කියවන්නැ” යි කිවහොත්, “මට නුපුළුවන. මන්ද එය මුද්‍රා තබා ඇතැ” යි ඔහු කියයි. 12කියවිය නො හැකි කෙනකු අතට ඔබ ඒ පොත දී, “මෙය කියවන්නැ” යි කිවහොත්, “කියවන්නට මා දන්නේ නෑ” යි ඔහු කියයි.
13ස්වාමින් මෙසේ කියන සේක:
“මේ ජනයා කට වචනයෙන් මා වෙත ළඟා වී,
තම තොල්වලින් මට ගෞරව කරන්නේ,
තමන්ගේ හදවත් මවෙතින් බොහෝ ඈත තබාගෙන ය;
ඔවුන් මට කරන නමස්කාරය,
මිනිසුන් විසින් උගන්වන ආඥාවලට අනුව ය.
14එබැවින්, ඔන්න මම පුදුම පිට පුදුම මගින්
තවත් වරක් මේ ජනයා පුදුමයෙන් වික්ෂිප්ත කරන්නෙමි.
ප්‍රඥාවතුන්ගේ ප්‍රඥාව වැනසේ.
බුද්ධිමතුන්ගේ බුද්ධිය සඟවනු ලැබේ.”
15අහෝ තම සැලසුම්
ස්වාමින්වහන්සේ වෙතින් ගැඹුරේ සඟවන,
තම ක්‍රියා අන්ධකාරයෙහි ඇති අය
“හහ්; කවුරු දකිත් ද? කවුරු දනිත් දැ?” යි කියන අය
16කුඹල්කරුවා ද මැටි වගේයැයි සිතමින්,
නුඹලා කාරණා යටිකුරු කරන හැටි!
සාදන ලද දෙයක් එහි සැදුම්කරුට
“ඔහු මා සෑදුවේ නැතැ” යි කීම හරි ද?
“ඔහුට වැටහීම නැතැ” යි කුඹල්කරුට කීමට
මැටි මුට්ටියකට හැකි ද?
17ලෙබනොනය, සාරවත් කෙතක් බවට පත් වන්නට මහ කාලයක් ගත නො වේ;
සාරවත් කෙත, වනාන්තරයක් සේ ගණන් ගනු නො ලැබේ ද?
18ඒ දවසේ බිහිරනට පොතක වචන ඇසෙනු ඇත.
කළුවර හා අන්ධකාරය අතරින්
අන්ධයනගේ ඇස්වලට පෙනීම ලැබෙනු ඇත.
19යටහතුන් ස්වාමින්වහන්සේ තුළ නවමු ප්‍රීතියක් ලබනු ඇත.
මානව වර්ගයා අතර දුගී දුප්පතුන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ගැන, ප්‍රීති වනු ඇත.
20කෘෘරයින් නැත්තට නැති වී යනු ඇත.
අපහාස කරන්නන් පහව යනු ඇත.
දුෂ්ට ඇසක් ඇති සියල්ලෝ සිඳ දැමෙනු ඇත.
21වචනයකින් යමෙකු වරදකරුවෙකු බවට පත් කරන්නෝ,
සමථකරුට උසාවියේදී උගුල් අටවන්නෝ,
බොරු සාක්ෂි මගින් නිදොස් අයගේ යුක්තිය පෙරළන්නෝ සිඳ දමනු ලබන්නෝ ය.
22එබැවින් ආබ්‍රහම් මුදා ගත් ස්වාමින්වහන්සේ, යාකොබ් වංශය ගැන මෙසේ කියන සේක:
“යාකොබ් තවදුරටත් ලජ්ජාවට පත් වන්නේ නැත.
තවදුරටත් ඔවුන්ගේ මුහුණු සුදුමැලි වන්නේ නැත.
23මගේ අත්-වැඩ වන තම දරුවන්
තමන් මධ්‍යයේ සිටිනු ඔවුන් දුටු කල,
ඔවුන් මගේ නාමය ශුද්ධ ව පිළිගනු ඇත.
ඔවුන් යාකොබ්ගේ ශුද්ධ තැනැන්වහන්සේගේ ශුද්ධ භාවය පිළිගෙන,
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට භය පක්ෂපාතී ව සිටිනු ඇත.
24ආත්මික ව මංමුළා වූවන් දැනගැන්ම අත්කර ගනු ඇත.
පැමිණිලි කරන්නන් උපදෙස් පිළිගනු ඇත.”

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 29: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න