යෙසායා 22
22
යෙරුසලමට එරෙහිව
1දර්ශන මිටියාවත ගැන දිව්‍ය ප්රකාශනයයි:
මොකක් ද මෙහි තේරුම; ඔබ උඩ නැගගෙන.
ඔබ සැවොම ගෙපියසි උඩ.
2කෑ මොර දීමෙන් පිරුණු,
රළු ඝෝෂාවෙන් හා ප්‍රීතියෙන් කුල්මත් නගරය,
ඔබේ මරා දමනු ලැබුවෝ, කඩු පහරින් මැරුණෝ නො වෙති.
සටනේදී මියගියෝ ද නො වෙති.
3ඔබේ සියලු නායකයෝ එක් ව පලාගියෝ,
දුන්න පාවිච්චි නො කර ම අල්ලා ගනු ලැබුවෝ ය.
බොහෝ ඈතට පලා ගොස් සිටිය ද, අල්ලා ගනු ලැබූ නුඹලා සියල්ලෝ ම,
සිරකරුවන් සේ එකට ගෙන යන ලදහ.
4එබැවින් මම මෙසේ කීවෙමි: “මා වෙතින් ඉවත බලන්න;
මට හඬා වැලපෙන්නට ඉඩ හරින්න.
මගේ ජනයාගේ දියණියගේ විනාශය ගැන
මා අස්වසන්නට උත්සාහ ගන්න එපා.”
5මන්ද ස්වාමින් වන සේනාංකවල ස්වාමින්වහන්සේට,
දර්ශන මිටියාවතේ සංත්රාසයේ ද
පාගාදැමීමේ හා වියවුලේ ද දවසක් ඇත.
ඒ නගර පවුරු බිඳ දැමීමේ ද
පිහිට පතා කඳුවලට මොර ගැසීමේ ද දවසකි.
6ඒලාම්වරු යුධ රථ හා
අශ්වයින් සමඟින් දුනු-හී දැරූහ.
කීර් වාසීහු පලිහ නිරාවරණ කළහ.
7ඔබේ සරු සාර මිටියාවත්, යුද-රථවලින් පිරිලා ය.
නගර දොරටුවල අසරුවෝ ස්ථානගත ව සිටිති.
8උන්වහන්සේ යූදාහි ආරක්ෂාව ඉවත් කළ සේක.
ඒ දවසේ ඔබ,
වනය නම් මැදුරේ අවි-ආයුධ දෙස බැලූහ.
9දාවිත් පුරයේ ආරක්ෂක කපොලුවල බිඳුම්
බොහෝ වග ඔබ දුටුවහ.
ඔබ පහළ පොකුණට
ජලය රැස් කළහ.
10යෙරුසලමේ ගොඩනැගිලි ගණන් කළ ඔබ,
නගර-පවුර ශක්තිමත් කරන පිණිස ඇතැම් ගෙවල් කඩා දැමූහ.
11පැරණි පොකුණේ ජලය සඳහා ඔබ,
පවුරු දෙක අතරේ ජලාශයක් තනා ගත්හ.
එහෙත් මේවා කළ තැනැත්තාණන් දෙස ඔබ බැලුවේ නැත.
දිගු කලකට ඉහත, මේවා සැලසුම් කළ තැනැත්තාණන් ඔබ දුටුවේ නැත.
12ඒ දවසේ හැඬීමටත්, වැලපීමටත්
හිස මුඩු කිරීමට හා ගෝණි රෙදි හැඳ ගැනීමටත්
ස්වාමින් වන සේනාංකවල ස්වාමින්වහන්සේ,
ඔබට හඬ ගැසූ සේක.
13එහෙත් මෙන්න! ප්‍රීතිය හා ප්‍රමෝදයත්
ගවයින් මැරීම හා බැටළු ඝාතනයත්,
මස් කෑම හා මිදි යුෂ පානයත්.
ඔබ කියන්නේ, “අද අපි කමු බොමු
මන්ද හෙට අප මැරී යාවී”
කියා ය.
14සේනාංකවල ස්වාමින්වහන්සේ මගේ දෙසවනට මෙසේ එළිදරවු කළ සේක: “ඔබ මියෙන තුරා මේ අයුතුකමට ඔබට කමාවක් නම් නැතැ” යි ස්වාමින් වන සේනාංකවල ස්වාමින්වහන්සේපවසන සේක.
15ස්වාමින් වන සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි:
“එන්න, ගෘහ වාසීන්ගේ ප්‍රධානියා වන බාරකරු වෙත,
ෂෙබ්නා වෙත ගොස්, මෙසේ කියන්න:
16නුඹට මෙහි කරන්නට ඇත්තේ කුමක් ද?
නුඹට මෙහි සොහොනක් කපා ගන්නට, නුඹට මෙහි ඇත්තේ කවුරු ද?
උස් තැනක නුඹට සොහොනක් කපාගෙන,
පර්වතයෙහි ඔබේ විශ්‍රාම ස්ථානය නෙළාගන්නේ ඇයි?
17“පරෙස්සම් වනු! එම්බා බලවත් මනුෂ්‍යය, ස්වාමින්වහන්සේ තරකොට අල්ලා,
ඔබ සැහැසි ලෙස ඉවත හෙළන්නට ආසන්න ය.
18උන්වහන්සේ වටේට වටේට නුඹ කරකවා,
පන්දුවක් සේ විසල් රටකට නුඹ විසිකර දමනු ඇත.
එහිදී නුඹ මියෙනු ඇත.
නුඹේ මහඟු යුධ රථ
එහිදී නුඹේ හාම්පුතුගේ වංශයට නින්දාවක් වනු ඇත.
19නුඹේ නිලයෙන් මම නුඹ පහ කරන්නෙමි.
නුඹේ තනතුරින් නුඹ නෙරපා දැමේ.
20“ඒ දවසේ මම හිල්කීයාගේ පුත් මගේ සේවක එලියාකීම් කැඳවන්නෙමි. 21ඔබගේ නිල ඇඳුම මම ඔහුට හඳවා, ඔබගේ බඳ පටිය ඔහුට බඳවා, ඔබගේ ආධිපත්‍යය ඔහු අතට පවරා දෙමි. යෙරුසලමේ වාසය කරන්නන්ටත්, යූදා වංශයටත් ඔහු පියකු වනු ඇත. 22දාවිත්ගේ ගෘහයේ යතුර, මම ඔහුගේ උර පිට තබන්නෙමි. ඔහු විවර කරන්නේ ය. කිසිවකුත් වසන්නේ නැත. ඔහු වසා දමන්නේ ය. කිසිවකුත් විවර කරන්නේ නැත. 23ආරක්ෂිත තැනක බස්සවන ලද කූඤ්ඤයක් මෙන් මම ඔහු ශක්තිමත් කරන්නෙමි. ඔහුගේ පියවංශයට ඔහු ගරු-සිහසුනක් වනු ඇත. 24ඔහුගේ පෙළපතේ මුළු ගෞරවය ඔහු පිට එල්ලී තිබෙනු ඇත. කුඩා බඳුන්හි සිට බුජම් දක්වා සියලු සුළු භාජන වූ පෙළපතේ පරපුර ඔහු පිට එල්ලී සිටිනු ඇත.
25“සේනාංකවල ස්වාමින්වහන්සේගේ ප්‍රකාශයයි මේ. ආරක්ෂිත තැනක සවි කරන ලද කූඤ්ඤය, ගැලවී යනු ඇත. එය කපා දමනු ලැබ, වැටී යනු ඇත. ඒ මත එල්ලී ඇති බර ද සිඳ දමනු ලැබේ යැ” යි ස්වාමින්වහන්සේ පවසා ඇත.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 22: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.