යෙසායා 19

19
ඊජිප්තුව ගැන
1ඊජිප්තුව පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයකි.
මෙන්න! ස්වාමින්වහන්සේ ශීඝ්‍ර වලාවක නැගී, ගමන් කරන සේක්,
ඊජිප්තුවට පැමිණෙන සේක.
ඊජිප්තුවේ පිළිම රූප උන්වහන්සේ අබියස වෙවුලයි.
ඊජිප්තුවරුන්ගේ හදවත් ඔවුන් තුළෙහි දියවී යන්නේ ය.
2“මම, ඊජිප්තුවනට එරෙහිව ඊජිප්තුවන් පොලඹවන්නෙමි.
සහෝදරයාට එරෙහිව සහෝදරයා ද
අසල්වැසියාට එරෙහිව අසල්වැසියා ද
නගරයට එරෙහිව නගරය ද
රාජ්‍යයට එරෙහිව රාජ්‍යය ද සටන් වදිනු ඇත.
3ඊජිප්තුවරුන්ගේ දිරිය, ඔවුන් තුළ ම බිඳී යන්නේ ය.
මම, ඔවුන්ගේ සැලසුම් නිෂ්ඵල කරන්නෙමි.
ඔවුන් පිළිම-රූපවලින් ද මළවුන්ගේ ආත්මවලින් ද
ආත්ම බන්ධනකරුවන් සහ පේන කියන්නන් ද විචාරනු ඇත.
4සැරපරුෂ ස්වාමියකු අතට
මම ඊජිප්තුවරුන් දෙන්නෙමි.
රුදුරු රජකු ඔවුන් පාලනය කරනු ඇතැ” යි
ස්වාමින් වන සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
5තවද මුහුදේ ජලය සිඳී යනු ඇත.
ගංගා වියළී, ඉරි තැළී යනු ඇත.
6දිය ඇළවල් දුගඳ හමනු ඇත.
ඊජිප්තුවේ නයිල් ගඟේ අතු ගංගා හීන වී, සිඳී යනු ඇත.
බට ගස් හා පන් ගස් කුණු වී යනු ඇත.
7නයිල් ගඟබඩ හා,
නයිල් ගං මුවදොර අසල පැළ ද
නයිල් ගඟ දෙපස වැපුරූ සෑම කෙත් ද වියළී, කර වෙයි.
ඒවා පලවා හැරේ. ඒවා තවත් හට නො ගනී.
8නයිල් ගඟේ බිලි බා මසුන් මරන්නන් සැවොම
කෙඳිරිගානු ඇත; වැලපෙනු ඇත.
ගං දියේ දැල් හෙළන්නෝ
දුකින් පීඩිත වෙති.
9පීරූ හණ කර්මාන්තකරුවන්ගේ හා
සුදු හණ රෙදි වියන්නන්ගේ අපේක්ෂා භංග වනු ඇත.
10දේශයේ කණු වන්#19:10 දේශයේ කණු වන් හෙවත් රෙදි වියන්නන් අය පොඩිකර දැමේ.
වේතනය ලබමින් වැඩ කරන සියල්ලන් දොම්නසට පත් කෙරේ.
11සොවන්හි අධිපතීන් මුළුමනින් ම මෝඩයින් ය;
පාරාවෝගේ නැණවත් උපදේශකයින් දෙන්නේ නිරර්ථක උපදෙස් ය.
“මම නැණවතුන්ගේ පුත්‍රයෙක්මි;
පුරාතන රජුන්ගේ පුත්‍රයෙක්මි” යි
පාරාවෝ අමතා ඔබට කිව හැක්කේ කෙසේ ද?
12එසේ නම් ඔබගේ නැණවතුන් දැන් කොහි ද?
සේනාංකවල ස්වාමින්වහන්සේ
ඊජිප්තුවට එරෙහිව සැලසුම් කර ඇත්තේ මොනවාදැයි
ඔවුන් ඔබට පෙන්වා, වටහා දුන්නා වේ!
13සොවන්හි අධිපතීන් මෝඩයින් බවට පත් ව ඇත.
මෙම්ෆිස්හි#19:13 මෙම්ෆිස්හි හෙබ්‍රෙව් නොෆ්හි නායකයින් රවටනු ලැබ ඇත.
එම ජනතා ගෝත්‍ර ප්‍රධානීන්
ඊජිප්තුව නොමග යවා ඇත.
14සිහි විකල් කෙරෙන ආත්මයක්,
ස්වාමින්වහන්සේ ඔවුන් හා සමඟ මිශ්‍ර කළ සේක.
කරන හැම කාරියකදී ම වැනි වැනී යන්නට ඔවුන් ඊජිප්තුවට සැලසුවේ,
බේබද්දකු තම වමනයේදී වැනි වැනී යන පරිද්දෙනි.
15හිසට හෝ වලිගයට වේවා, ඉඳි ගස් අත්තට හෝ බට දණ්ඩට වේවා
ඊජිප්තුව උදෙසා කළ හැකි දෙයක් නැත.
16ඒ දවසේ ඊජිප්තුවරු ස්ත්‍රීන් මෙන් වනු ඇත. සේනාංකවල ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන්ට ඉහළින් ලෙළවීමේදී ඔවුන් භයපත් ව, වෙවුලනු ඇත. 17යූදා දේශය ඊජිප්තුවරුන්ට භීතිය ගෙන එනු ඇත. යූදා යන නම මතක් කරන ලද කල, හැම කෙනකු ම භීතියට පත් වනු ඇත. මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ ඔවුන්ට එරෙහිව සැලසුම් කළ දෑ නිසාවෙනි.
18ඒ දවසේ ඊජිප්තුවෙහි පුරවර පහක කානාන් බස කතා කෙරේ; සේනාංකවල ස්වාමින්වහන්සේට අවනත බවට දිවුරනු ලැබේ; ඉන් එකක් විනාශය නගරය#19:18 විනාශය නගරය සමහර හෙබ්‍රෙව්, ග්‍රීක් සහ ලතින් පිටපත්වල සූර්ය නගරය ලෙස සඳහන් වේ. යනුවෙන් හැඳින්වෙනු ඇත.
19ඒ දවසේ ඊජිප්තු දේශය මධ්‍යයෙහි ස්වාමින්වහන්සේට පූජාසනයක් වනු ඇත. එහි දේශ සීමාවේ ස්වාමින්වහන්සේට ස්මාරකයක් ද වනු ඇත. 20එය, සේනාංකවල ස්වාමින්වහන්සේට ඊජිප්තුවෙහි ලකුණක් ද සාක්ෂියක් ද වනු ඇත. තම පීඩකයින් නිසා, ඔවුන් ස්වාමින්වහන්සේට මොර ගසන කල, උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් සටන් කිරීමට මිදුම්කරුවකු යවා, ඔවුන් ගලවා ගනු ඇත. 21මෙසේ ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුනට තමන්වහන්සේ හඳුන්වා දෙන සේක. ඒ දවසේ ඔවුහු ස්වාමින්වහන්සේ හැඳින ගන්නෝ ය. ඔවුන් උන්වහන්සේට යාග පූජා හා ධාන්‍ය පූජාවලින් නමස්කාර කරනු ඇත; ස්වාමින්වහන්සේට බාර-හාර වී, ඒවා ඉටු කරනු ඇත. 22ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුන්ට පහර දෙන සේක. පහර දී, උන්වහන්සේ ඔවුන් සුව කරන සේක. ඔවුන් ස්වාමින්වහන්සේ වෙත ආපසු එනු ඇත. උන්වහන්සේ ඔවුන්ගේ ආයාචනා පිළිගෙන, ඔවුන් සුවපත් කරන සේක.
23ඒ දවසේ ඊජිප්තුවේ සිට අසිරියාව තෙක් මහ මාවතක් වන්නේ ය. අසිරියන්වරු ඊජිප්තුවටත්, ඊජිප්තුවරු අසිරියාවටත් යන්නෝ ය. ඊජිප්තුවරු හා අසිරියන්වරු එක් ව නමස්කාර කරන්නෝ ය. 24ඉශ්‍රායෙලය ඒ දවසේ ඊජිප්තුව හා අසිරියාව සමඟ තුන්වැන්නකු වී, මිහිපිටට ආශිර්වාදයක් වනු ඇත. 25සේනාංකවල ස්වාමින්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරමින්, “මගේ ජනයා වන ඊජිප්තුවත්, මගේ හස්ත කර්මාන්තය වන අසිරියාවත්, මගේ උරුමය වන ඉශ්‍රායෙලයත් ආශිර්වාදිත වේවා!” යි කියන සේක.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 19: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න