යෙසායා 11

11
යෙස්සේගේ ශාඛාව
1යෙස්සේගේ කඳ කොටසෙන් අංකුරයක් පැන නගිනු ඇත.
ඔහුගේ මුල්වලින් ශාඛාවක් නැගී, පල හට ගැනෙනු ඇත.
2 ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ එතුමන් මත පිහිටා සිටින සේක.
ආත්මයාණෝ ප්‍රඥාවේ ද වටහා ගැනීමේ ද ආත්මයාණන් ය.
අනුශාසනාවේ හා බලයේ ද ආත්මයාණන් ය.
දැනගැන්මේ ද ස්වාමින්වහන්සේට භය-පක්ෂපාතීත්වයේ ද ආත්මයාණන් ය.
3 ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වීමෙන්, උන්වහන්සේ ප්‍රමෝදයට පත් වනු ඇත.
එතුමන් තම ඇසින් දකින දැයින්, විනිශ්චය නො කරනු ඇත.
තම කනින් අසන දැයින්, තීරණයකට නො බසිනු ඇත.
4එහෙත් එතුමන් දමිටුකමින් දුප්පතුන් විනිශ්චය කරනු ඇත.
පොළොවේ පීඩිතයින් සඳහා එතුමන් යුක්ති සහගත තීරණ දෙනු ඇත.
එතුමන් තම මුවෙහි ඉපලෙන් පොළොවට පහර දෙනු ඇත.
එතුමන් තම තොල්වල හුස්මෙන් දුෂ්ටයින් මරා දමනු ඇත.
5දමිටුකම එතුමන්ගේ ඉඟ පටියයි.
විශ්වාසවන්තකම එතුමන්ගේ බඳ පටියයි.
6වෘකයා, බැටළු පැටවා සමඟ වෙසෙනු ඇත.
දිවියා, එළු පැටවා සමඟ ලගිනු ඇත.
වහු පැටවා හා සිංහ පැටවා එකට අහර බුදිනු ඇත.
කුඩා දරුවකු උන් දක්කාගෙන යනු ඇත.
7එළදෙන, වැලහින්න හා සමඟ තණ බුදිනු ඇත.
උන්ගේ පැටවුන් එකට එක් වී ලගිනු ඇත.
සිංහයා, ගවයා මෙන් පිදුරු කනු ඇත.
8ළදරුවා, නාගයාගේ බෙනය අසල සෙල්ලම් කරනු ඇත.
බාල දරුවා, පොළඟාගේ බිලය තුළට තම අත දමනු ඇත.
9මගේ මුළු මහත් ශුද්ධ කන්ද මත
ඔවුන් කිසි හානියක් හෝ විනාශයක් හෝ කරන්නේ නැත.
මන්ද මුහුද, ජලයෙන් වැසී තිබෙන්නාක් මෙන්,
ස්වාමින්වහන්සේ ගැන දැනගැනීමෙන් පොළොව පිරී යනු ඇත.
10ඒ දවසේ යෙස්සේගේ මුල, ජනයින්ට සංඥාවක් වශයෙන් සිටගනු ඇත. ජාතීන් එතුමන්ගෙන් විමසනු ඇත. එතුමාණන්ගේ විවේක ස්ථානය තේජවත් වෙයි. 11ඒ දවසේ ස්වාමින්වහන්සේ අසිරියාව ද පහළ ඊජිප්තුව ද ඉහළ ඊජිප්තුව#11:11 ඉහළ ඊජිප්තුව එනම් පත්‍රෝස් ද කූෂ් ද ඒලාම් ද ෂිනාර් ද හමාත් ද මුහුදු දිවයින් ද වෙතින් ස්වකීය ජනතාවගෙන් ඉතිරි ව සිටින ඉතිරි ස්වල්ප දෙනා බේරාගනු පිණිස දෙවන වරට ද ස්වකීය හස්තය දිගු කරනු ඇත.
12එතුමාණන් ජාතීන් උදෙසා සංඥාවක් ඔසවා,
රටින් පිට මං කර සිටි ඉශ්‍රායෙල්වරුන් එකතු කරන සේක්;
විසුරුවනු ලැබ සිටි යූදාවරුන්
පොළොවේ සතර මුල්ලෙන් එක් රැස් කරන සේක.
13එප්‍රායිම්ගේ ඊර්ෂ්‍යාව පහ වී යනු ඇත.
යූදාට හිරිහැර කළවුන් සිඳ දමනු ලැබේ.
එප්‍රායිම්, යූදා ගැන ඊර්ෂ්‍යා නො වනු ඇත.
යූදා ද එප්‍රායිම්ට අඩත්තේට්ටම් නො කරනු ඇත.
14එහෙත් ඔවුන් බටහිර දෙස පිලිස්තිවරුන්ගේ බෑවුම් පිටට පියාඹා බැස එනු ඇත.
ඔවුන් එක් වී නැගෙනහිර දෙස ජනයාගෙන් කොල්ලකනු ඇත.
ඔවුන් ඒදොම් සහ මෝවබ්ට එරෙහිව අත තබනු ඇත.
අම්මොන්වරුන් ඔවුනට යටත් වනු ඇත.
15 ස්වාමින්වහන්සේ ඊජිප්තු මුහුදු බොක්ක
හින්දවන සේක.
උන්වහන්සේ ස්වකීය අත වනා
වියළි සුළඟක් ගංගාව#11:15 ගංගාව එනම් යුප්‍රටීස් මත්තෙහි පිඹ,
වහන් පිට පා නො තෙමී, මිනිසුන්ට ගඟ තරණය කළ හැකි වන පරිදි,
ගං දිය පහර, හතකට කඩන සේක.
16උන්වහන්සේගේ ජනතාවගෙන්
ජීවත් ව සිටින ඉතිරි ස්වල්ප දෙනා සඳහා
අසිරියාවේ සිට මහ මාවතක් එහි තැනෙනුයේ,
ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ සිට පැමිණි කල්හි වූ පරිද්දෙනි.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 11: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න