හෙබ්‍රෙව් 12

12
1එබැවින් මෙතරම් ඉමහත් සාක්ෂිකරුවන් සමූහයක් අප වට කොට සිටින බැවින්, හැම බරක් හා පහසුවෙන් අප පටලවා ගන්නා පාපය පසෙක ලා, අප ඉදිරියේ සලසා ඇති තරඟ දිවුම, 2අපගේ ඇදහිල්ලේ ආරම්භකයාණන් හා පරිසමාප්තකයාණන් වන යේසුස්වහන්සේ වෙත ම ඇස් යොමා ගෙන, වීර්යයෙන් ම දුවමු. උන්වහන්සේ තමන් අබියස පිළියෙල ව තිබූ ප්‍රීතිය නිසා, අවමානය අවඥාවෙන් සලකා, කුරුසිය ඉසිලූ සේක්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳවනු ලැබූ සේක. 3ඔබ හෙම්බත් වී අධෛර්යට පත් නො වන පිණිස, පාපී මිනිසුන්ගේ ඒ සා එදිරිවාදිකම් ඉවසූ තැනැන්වහන්සේ ගැන සිතා බලන්න.
තම පුත්‍රයින් හික්මවන දෙවියන්වහන්සේ
4පාපයට එරෙහිව ඔබ කරන පොරබැදීමේදී තවමත් ලේ හැලෙන විරෝධතාවකට පත් ව නැත. 5පුත්‍රයින් යයි ඔබ අමතන ධෛර්යය ගැන්වීමේ මෙම වචන ඔබට අමතක වූවා ද?
“මා පුත, ස්වාමින්වහන්සේගේ හික්මවීම සුළු කොට නො සලකන්න;
උන්වහන්සේගෙන් තරවටු ලබන කල නො කලකිරෙන්න;
6මන්ද ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක;
පුත්‍රයකු වශයෙන් පිළිගන්නා සැමට තළන සේක.”#12:6 හිතෝප 3:11,12
7ඔබ ඉවසා දරාගත යුත්තේ හික්මීම පිණිස ය. දෙවියන්වහන්සේ ඔබ සලකන්නේ පුත්‍රයින් වශයෙනි. තම පියාණන් විසින් හික්මවනු නො ලබන පුත්‍රයා කවුරු ද? 8හැම කෙනකු ම හික්මවන පරිදි ඔබ හික්මවනු නො ලබනවා නම්, ඔබ අවජාතකයකු මිස, පුත්‍රයකු නො වේ; 9ඒ හැර, අප හික්මවූ භූමික පියවරු අපට සිටියහ; අපි ඔවුනට ගරු කළෙමු. එසේ නම්, අප ආත්මවල පියාණන්ට ඊට කොපමණ වැඩියෙන් අප යටත් ව, ජීවත් විය යුතු ද? 10මන්ද ඔවුන් අප හික්මවූයේ ඔවුන්ට වඩා හොඳයයි පෙනුණු පරිදි ටික කලකට ය. එහෙත් මුන්වහන්සේ අප හික්මවන්නේ අපේ යහපත සඳහා, අප උන්වහන්සේගේ ශුද්ධත්වයට පංගුකාර වන පිණිස ය. 11හැම හික්මවීමක් ම විඳින කල, එය ප්‍රියදායි ව නො ව, පීඩාදායි ව පෙනේ; එහෙත් පසුව, එයින් අත්දැකීම් ලද්දවුනට, ධර්මිෂ්ඨකමේ සාමකාමී පල හට ගැනේ.
12එබැවින් එල්ලා වැටෙන ඔබගේ අත් ඔසවා, පණ නැති දණිස් ශක්තිමත් කර ගන්න. 13කොර වූ කකුල්-සන්ධි නො ගැලවී ඒවා සුව වන පිණිස, ඔබේ පාදවලට සමතල මාවත් තනා ගන්න.#12:13 හිතෝප 4;26
අනතුරු ඇඟවීම හා දිරිමත් කිරීම
14සියලු දෙනා සමඟ සාමයෙන් විසීමටත්, ශුද්ධවත් ජීවිතයක් ගත කිරීමටත් පරිශ්‍රම දරන්න. ශුද්ධත්වයෙන් තොර ව කිසිවකුත් ස්වාමින්වහන්සේ දකින්නේ නැත. 15කිසිවකුට දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අහිමි නො වන ලෙසට හා ගැටලු මතු කොට බොහෝ දෙනකු අපවිත්‍ර වන තික්තකමේ මුලක් හටගන්නට ඉඩ නො දෙන ලෙසට වග බලා ගන්න. 16කිසිවකුත් ලිංගික අනාචාරයේ නො ගැලෙන ලෙසට හා එක කෑම වේලකට තම කුලුඳුල්කම විකුණූ ඒසව් මෙන් නො වන ලෙසට වග බලා ගන්න. 17ඔබ දන්නා පරිදි, පසුව ඔහුට ආශිර්වාදය අවශ්‍ය වූ නමුදු, ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබිණි. කඳුළින් යුතු ව පවා කන්නලව් කළ නමුදු එය වෙනස් කිරීමට ඔහු ඉඩ ලද්දේ නැත.
බිය උපදවන කන්ද සහ ප්‍රීතිය උපදවන කන්ද
18මන්ද ඔබ පැමිණ ඇත්තේ, ස්පර්ශ කළ හැකි වූ, ගිනිගෙන දැවෙන, අන්ධකාරයෙන් හා කළුවරින් යුතු, සැඩ කුණාටුවක් වෙතවත්, 19හොරණෑ හඬක්වත්, තමනට තවත් කතා නො කරන්නැයි ඇසූවන් කන්නලව් කරන්නට සැලසූ කටහඬක් වෙතවත් නො වේ; 20මන්ද, “සතකු වුව කන්දේ ස්පර්ශ වුණොත් ඌ ගල් ගසා මැරිය යුතු ය”#12:20 නික්ම 19:12,13 යන නියෝගය ඔවුනට දැරිය නො හැකි වූ බැවිනි. 21ඒ දර්ශනය කෙතරම් බියකරු වී ද යත්, “මම බයින් වෙවුලමි”#12:21 ද්වි 9;19 යි මෝසෙස් කීවේ ය.
22එහෙත් ඔබ පැමිණ ඇත්තේ සියොන් කන්ද වෙතට ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුරවරය වූ ස්වර්ගීය යෙරුසලම වෙතට හා අසංඛ්‍ය වූ දේව දූතයින්ගේ ප්‍රීති ජනක රැස්වීම වෙතට ය; 23ස්වර්ගයේ නම් ඇතුළත් කුලුඳුලන්ගේ සභාව වෙතට ය; සියල්ලන්ගේ විනිශ්චයකරුවාණන් වූ දෙවියන්වහන්සේ වෙතට ය; සම්පූර්ණත්වයට පත් කරනු ලැබූ ධර්මිෂ්ඨයින්ගේ ආත්ම වෙතට ය. 24අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් වූ යේසුස්වහන්සේ වෙතට ය; ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේ වෙතට ය.
25කතා කරන්නා වූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප නො කරන්නට බලා ගන්න. පොළොවේදී තමන්ට අවවාද කළ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කළ විට, ඔවුන් ගැලවුණේ නැති නම්, ස්වර්ගයේ සිට අවවාද කරන තැනැන්වහන්සේ වෙතින් ඉවත හැරුනහොත්, අපි කෙලෙස ගැලවෙන්නෙමු ද? 26එකල උන්වහන්සේගේ කටහඬට පොළොව සලිත විය. එහෙත් දැන්, “මම යළිත් වරක් පොළොව පමණක් නො ව අහස ද සොලවන්නෙමි”#12:26 හග්ග 2:6 යි උන්වහන්සේ පොරොන්දු වී ඇත. 27“යළිත් වරක්” යන්නෙන් අදහස් වන්නේ, සොලවන්නට නො හැකි දෑ ඉතිරි වන පිණිස, සොලවනු ලබන දෑ වන මවන ලද දෑ බැහැර කරන බවයි.
28එබැවින් සොලවන්නට බැරි රාජ්‍යයක් අපට ලැබෙන බැවින්, ස්තූතිවන්ත වෙමු. තවද ගෞරවනීය ව හා භයින් යුතු ව දෙවියන්වහන්සේට පිළිගත මනා නමස්කාරයක් ඔප්පු කරමු. 29මන්ද අපේ දෙවියන්වහන්සේ දවාලන ගින්නකි.#12:29 ද්වි 4;24

දැනට තෝරාගෙන ඇත:

හෙබ්‍රෙව් 12: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න