හෙබ්‍රෙව් 11

11
ඇදහිල්ලෙන්
1ඇදහිල්ල නම්, බලාපොරොත්තු වන දේ ගැන ඇති සහතිකයයි; නො දක්නා දේ ගැන ඇති නිසැක කමයි. 2මන්ද පැරැන්නන් තම පිළිගැනීමක් ලද්දේ එමඟින් ය.
3දෙවියන්වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ වග අප වටහා ගන්නේ ඇදහිල්ලෙනි. මෙසේ පෙනෙන දෙය, නො පෙනෙන දෙයින් පහළ වූ බව පෙනී යයි.
4කායින්ට වඩා උතුම් පූජාවක් ආබෙල් දෙවියන්වහන්සේට ඔප්පු කළේ ඇදහිල්ලෙනි. එමඟින් ඔහු ධර්මිෂ්ඨයකු ලෙස පිළිගැනුණේ, දෙවියන්වහන්සේ ඔහුගේ දීමනාව පිළිගනිමින් ඔහු අනුමත කළ කල්හි ය; මිය ගොස් ඇති නමුදු, ඒ ඇදහිල්ලෙන් ඔහු තවමත් කතා කරයි.
5මරණය නො දකින පිණිස, ඒනොක් ඔසවා ගනු ලැබුවේ ඇදහිල්ලෙනි: දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින්, ඔහු හමු නො වී ය.#11:5 උත් 5;24 එසේ ගනු ලැබීමට පෙර, ඔහු දෙවියන්වහන්සේ ප්‍රසන්න කළ වගට සාක්ෂි ලැබිණ. 6ඇදහිල්ලෙන් තොර ව උන්වහන්සේ ප්‍රසන්න කිරීම කළ නො හැක්කකි; මන්ද දෙවියන්වහන්සේ වෙත ළඟා වන කවරකු වුව ද උන්වහන්සේ වැඩ සිටින වගත්, උන්වහන්සේ සොයන අයට ප්‍රතිවිපාක දෙන වගත් විශ්වාස කළ යුතු වෙයි.
7එතෙක් නුදුටු දෑ ගැන දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූ කල, තම දරු පවුල මුදා ගනු පිණිස, ගෞරවනීය බයින් යුතු ව, නෝවා නැවක් සෑදුවේ ඇදහිල්ලෙනි. එමඟින් ලෝකය දණ්ඩනයට පත් කළ ඔහු, ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකමේ උරුමකරුවකු වූයේ ය.
8ආබ්‍රහම් කැඳවනු ලැබූ කල, කීකරු ව, කොහි යන්නේ ද පවා නො දැන, මතු ඔහුට උරුමයක් ව ලැබෙන ස්ථානය බලා පිටත් ව ගියේ ඇදහිල්ලෙනි. 9තමා හා එක ම පොරොන්දුවේ උරුමකරුවන් වූ ඊසාක් හා යාකොබ් සමඟ කූඩාරම්වල වාසය කරමින්, පොරොන්දු වූ දේශයේ, විදේශයක මෙන් ජීවත්වීමට ඔහු ගියේ ඇදහිල්ලෙනි. 10මන්ද ඔහු මග බලා සිටියේ අත්තිවාරම් ඇති පුරවරයක් ගැන ය; එහි සැලසුම්කරු හා ඉදිකිරීම්කරු දෙවියන්වහන්සේ ය. 11පොරොන්දු වූ තැනැන්වහන්සේ විශ්වසනීය වග පිළිගත් බැවින්, තමාගේ නිසි වයස පසුවී වුව ද සාරා පිළිසිඳ ගැනීමට බලය ලද්දේ ඇදහිල්ලෙනි. 12මළ මිනිසකු වැනි වූ එක මිනිසකුගෙන් අහසේ තරු මෙන් බොහෝ වූ ද මුහුදු වෙරළේ වැලි මෙන් අනන්ත වූ ද දරු පරපුරක් බිහි වූයේ එබැවිනි.
13ඇදහිල්ලෙහි පිහිටා සිටි මේ හැම කෙනකු ම මිය ගියේ, පොරොන්දු වූ දෑ නො ලැබ, එහෙත් ඒවා දුරතියා දැක, සාදරයෙන් ඒවා පිළිගනිමිනි; තමන් මේ පොළොවට පිටදේශක්කරුවන් හා ආගන්තුකයින් වග පිළිගනිමිනි. 14මන්ද මෙසේ පවසන අය තමන්ගේ ම වාස-භූමියක් සොයනා වග ප්‍රකට කරති. 15තමන් පිටත් ව ආ දේශය, තමන්ගේ දේශය වශයෙන් ඔවුහු සිතා සිටියාහු නම්, ආපසු එහි හැරී යෑමට ඔවුනට අවස්ථාව තිබිණි. 16එහෙත් ඔවුන් ආශාවෙන් පසු වූයේ, වඩා උතුම් දේශයක්, ස්වර්ගීය දේශයක් ගැන ය. එබැවින් දෙවියන්වහන්සේ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ යැයි අමතනු ලැබීමට ලජ්ජා නො වූ සේක. උන්වහන්සේ ඔවුනට ස්වර්ගීය පුරවරයක් සූදානම් කොට තැබූ සේක.
17පරීක්ෂා කරනු ලැබූ කල, ආබ්‍රහම් ඊසාක් ඔප්පු කළේ ඇදහිල්ලෙනි; පොරොන්දුව ලැබ සිටි තැනැත්තා තම එක ම පුත්‍රයා පූජා කරන්නට වූයේ, 18“ඔබගේ වංශය නම් කෙරෙන්නේ ඊසාක් මගිනි”#11:18 උත් 21;12 යි ඔහු ගැන පවසා තිබියදී ය. 19උපමා අලංකාරයෙන් කියතහොත් ඔහු ඊසාක් නැවත ලබා ගත්තේ ය. ඒ මළවුන් වුව නැගිටුවන්නට දෙවියන්වහන්සේට පුළුවනැයි සැලකූ බැවිනි.
20යාකොබ් හා ඒසව්ගේ මතු අනාගතය සලකා, ඊසාක් ඔවුනට ආශිර්වාද කළේ ඇදහිල්ලෙනි.
21මරණ මංචකයේ යාකොබ් තම සැරයටියට බර වී, හිස නමා, නමස්කාර කරමින්, යෝසෙප්ගේ පුතුන්ට වෙන්, වෙන් ව ආශිර්වාද කළේ ඇදහිල්ලෙනි.
22තම අවසන් මොහොතේ යෝසෙප්, ඉශ්‍රායෙල් ජනයාගේ නික්මයෑම මතක් කර, තම ඇටකටු ගැන උපදෙස් දුන්නේ ඇදහිල්ලෙනි.
23මෝසෙස් උපන් කල, ඔහු පියකරු දරුවකු වග දුටු ඔහුගේ මව් පිය දෙපොළ රාජ නියෝගයට බය නො වී, තුන් මසක් ම ඔහු සඟවා තබා ගත්තේ ඇදහිල්ලෙනි.
24වැඩිවියට පත් පසු මෝසෙස්, පාරාවෝ රජුගේ දූ කුමරියගේ පුත්‍රයා යැයි හඳුන්වනු ලැබීම ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කළේ, 25සුළු කලකට පාපයේ සැපත භුක්ති විඳිනවාට වඩා, දෙවියන්වහන්සේගේ ජනයා සමඟ කම්කටොලු විඳීම තෝරා ගැනීමෙනි. 26ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අවමන් විඳීම, ඊජිප්තුවේ ධනයට වඩා වටිනා වස්තුවකැයි සැලකීමෙනි. මන්ද ඔහු ඉටු විපාකය දෙස බලා සිටියේ ය. 27රාජ උදහසට බය නො වී, ඔහු ඊජිප්තුව හැර ගියේ ඇදහිල්ලෙනි. මන්ද අදෘශ්‍යමාන තැනැන්වහන්සේ දකින්නකු සේ ඔහු නො සැලී සිටියේ ය. 28කුලුඳුලන් ඝාතකයා, ඔවුනට අත නො තබන පිණිස, පාස්කුව පවත්වා ඔහු ලේ ඉස්සේ ඇදහිල්ලෙනි.
29වියළි ගොඩ බිමේ ගමන් ගන්නා සේ ජනයා රතු මුහුද මැදින් ගියේ ඇදහිල්ලෙනි; එලෙස යෑමට තැත් කළ ඊජිප්තුවරු දියේ ගිලී මළහ.
30ඔවුන් හත් දවසක් යෙරිකෝ පුරවරය වටලා ගමන් ගිය කල, පුර පවුරු බිඳ වැටුණේ ඇදහිල්ලෙනි.
31අකීකරුවූවන් සමඟ රාහාබ් වෙසඟන විනාශ නො වූයේ ඇදහිල්ලෙනි. මන්ද ඈ ඔත්තුකරුවන් පිළිගත්තේ මිත්‍රත්වයෙනි.
32මා තව මොනවා කියන්න ද? ගිඩියොන්, බාරාක්, සම්සොන්, යෙෆ්තා හා දාවිත් ගැනත්, සාමුවෙල් හා දිවැසිවරුන් ගැනත් කියන්නට මට කාලය නැත. 33ඔවුහු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළහ, යුක්තිය පිහිටූහ, පොරොන්දු අත්කර ගත්හ, සිංහ මුඛ පියවූහ, 34රුදුරු ගින්නේ බල, මැඩපැවැත් වූහ, කඩු මුවහතින් ගැලවී පලා ගියහ; දුබලකම්, ප්‍රබලකමට හරවා ගත්හ. යුද්ධයට බලවත් වූහ; සතුරු හමුදා පලවා යැවූහ. 35ස්ත්‍රීහු මිය ගිය තම ප්‍රියයන්ගේ ජීවිත නැවත ලදහ. ඇතමෙක් වඩා හොඳ නැවත නැගිටීමක් අත්කර ගන්නා පිණිස, නිදහස් කරනු ලැබීම ප්‍රතික්ෂේප කොට, දරුණු වධ බන්ධන ලැබූහ. 36අන්‍යයෝ පරිහාසයටත්, කස පහරටත්, විලංගු ලනු ලැබීමට හා සිර කරනු ලැබීමටත් මුහුණ පෑහ; 37ඔවුහු මැරෙන තුරා ගල් ගසනු ලැබූහ; කියතින් දෙකට ඉරනු ලැබූහ; කඩුවෙන් මරා දමනු ලදහ. ඔවුහු අනාථ භාවයට, වධයට, අසාධාරණයට ගොදුරු වෙමින් එළු හම් හා බැටළු හම් පමණකින් විලි වසාගෙන, තැන් තැන්හි ගියහ. 38ඔවුන් දරන්නට තරම් ලෝකය වටින්නේ නැත. ඔවුහු මරු කතරේ ද කඳු අතරේ ද ගුහා තුළ හා පොළෝ කුහර තුළ ද ඉබාගාතෙ ඇවිද්දහ.
39ඔවුන් සියල්ලෝ තමන්ගේ ඇදහිල්ල තුළින් අනුමැතිය දිනුවෝ වුව ද, පොරොන්දු වූ දෑ නො ලද්දෝ ය. 40මන්ද අපගෙන් තොර ව ඔවුන් පූර්ණත්වයට පත් නො වන ලෙසට දෙවියන්වහන්සේ අප උදෙසා වඩා හොඳ සැලැස්මක් සපයා තිබූ බැවිනි.

දැනට තෝරාගෙන ඇත:

හෙබ්‍රෙව් 11: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න