එස්රා 6
6
දාරෙයාවෙෂ්ගේ නියෝගය
1එකල දාරෙයාවෙෂ්#6:1 දාරෙයාවෙෂ් ග්‍රීක් දාරියුස් රජු නියෝගයක් නිකුත් කළේ ය. බබිලෝනියෙහි ලේඛන සංරක්ෂණ කර තබන රාජ්‍ය ලේඛනාගාරයේ සෝදිසියක් කෙරිණි. 2මේදියා පළාතේ අහ්මෙතා#6:2 අහ්මෙතා එනම් එක්බතානා බළකොටුවේ තිබූ ලියවිල්ලක් සම්බ විය. එහි මෙසේ ලියා තිබිණ.
දැනගැනීම පිණිසයි:
3කෝරෙෂ් රජුගේ පළමු වසරේ, කෝරෙෂ් රජු යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහය පිළිබඳ නියෝගයක් නිකුත් කළේ ය:
යාග පූජා ඔප්පු කරන ස්ථානයක් හැටියට ගෘහය ඉදි කෙරේවා! එහි අත්තිවාරම් ද සවිමත් කරනු ලැබේවා. එහි උස රියන් හැටක්#6:3 මීටර් 27ක් පමණ. හා පළල රියන් හැටක් විය යුතු ය. 4විශාල ගල් පේළි තුනක් හා එක ලී පේළියක් යන වශයෙන් එය සෑදිය යුතු අතර, එම වියදම් දැරිය යුත්තේ රාජකීය භාණ්ඩාගාරයයි. 5තවද නෙබුකද්නෙසර් විසින් යෙරුසලමේ පිහිටි දේව මාලිගයේ සිට බබිලෝනිය වෙත ගෙන යන ලද දෙවියන්වහන්සේගේ ගෘහයේ රන් හා රිදී භාණ්ඩ ආපසු ගෙන අවුත්, යෙරුසලමෙහි දේව මාලිගයේ ඒවාට නියමිත තැන්වල ආපසු තැබිය යුතු ය; ඒවා දෙවියන්වහන්සේගේ ගෘහයේ තැන්පත් කළ යුතු ව ඇත.
6එබැවින් දැන් ගඟ එගොඩ පළාතේ ආණ්ඩුකාර තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ගඟ එගොඩ පළාතේ ඔබගේ හවුල්කාර රාජ්‍ය නිලධාරීන් ද එතැනින් ඈත් ව සිටින්න. 7දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ වැඩ කෙරුණාවේ. යුදෙව් ආණ්ඩුකරු හා යුදෙව් වැඩිහිටියන් දෙවියන්වහන්සේගේ මේ ගෘහය ඊට නිසි බිමේ යළි එය ගොඩ නැගුවා වේ.
8තවද දෙවියන්වහන්සේගේ මේ ගෘහය ඉදිකිරීමේදී මේ යුදෙව් වැඩිහිටියන් වෙත ඔබ කළ යුතු දෑ ගැන මම ඔබට නියෝග කරමි:
මෙම වැඩ නො නැවතී කරන පිණිස මේ මිනිසුන්ගේ වියහියදම් පමා නො කර, සම්පූර්ණයෙන් රාජකීය භාණ්ඩාගාරයෙන්, ගඟ එතෙරින් ලැබෙන බදු ආදායමින් ගෙවිය යුතු ය. 9ස්වර්ගයේ දෙවියන්වහන්සේට දවන යාග පූජාවනට අවශ්‍ය ගොන් වස්සන්, බැටළුවන් හා බැටළු පැටවුන් ද යෙරුසලමේ පූජකයින් ඉල්ලන තිරිඟු, ලුණු, මිදි යුෂ හා තෙල් ද යන කවර දෙයක් වුව, දවසින් දවස නොවරදවා ම ඔවුන්ට සැපයිය යුතු ය. 10එසේ කළ යුත්තේ ස්වර්ගයේ දෙවියන්වහන්සේ ප්‍රසන්න වන යාග පූජා ඔප්පු කර, රජුගේ හා ඔහුගේ පුතුන්ගේ ශුභ සිද්ධිය උදෙසා ඔවුන් යාච්ඤා කරන පිණිස ය.
11තවද මේ නියෝගය කඩ කරන කෙනකු වේ ද, ඔහුගේ ගෙයින් බාල්කයක් එළියට ඇද, ඒ පිට ඔහු උල තැබිය යුතු ය. මේ අපරාධය නිසා ඔහුගේ නිවස සුන්බුන් ගොඩක් කළ යුතු ය. 12යෙරුසලමේ ඇති දෙවියන්වහන්සේගේ මේ ගෘහය විනාශ කරන්නට හෝ මේ නියෝගය කඩ කරන්නට හෝ තම අත පොවන රජකු හෝ ජනයා හෝ වේ ද, ස්වකීය නාමය එහි වාසය කරවන දෙවියන්වහන්සේ ඔවුන් විනාශ කර දමන සේක්වා!
දාරෙයාවෙෂ් වන මම මෙම නියෝගය කළෙමි. එය උද්යෝගයෙන් ඉටු කරනු ලැබේවා!
දේව මාලිගය කැප කිරීම
13එවිට දාරෙයාවෙෂ් රජු එවූ වචනයට අනුව ගඟ එගොඩ පළාත් ආණ්ඩුකාර තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ හවුල්කරුවන් ද දාරෙයාවෙෂ් රජු විසින් එවන ලද නියෝගය උද්යෝගිමත් ව ඉටු කළහ. 14එබැවින් යුදෙව් වැඩිහිටියෝ දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත්‍ර සෙකරියාගේත් දිවැස් වැකි පැවසීම යටතේ ගොඩ නගා, සඵල වූහ. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ ආඥාවටත්, කෝරෙෂ්, දාරෙයාවෙෂ් හා අර්තාෂස්තා යන පර්සියානු රජුන්ගේ නියෝගයනටත් අනුව ඔවුහු ඉදිකිරීමේ කටයුතු නිම කළහ. 15දාරෙයාවෙෂ් රජුගේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දා ගෘහය සාදා සම්පූර්ණ කෙරිණි.
16ඉන්පසු පූජකයින්, ලෙවීවරුන් හා පිටුවහල් ව සිට ආපසු පැමිණි සෙස්සන් යන ඉශ්‍රායෙල් ජනයා, දෙවියන්වහන්සේගේ ගෘහය කැප කිරීම ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව පැවැත් වූහ. 17දෙවියන්වහන්සේගේ මේ ගෘහය කැප කිරීම සඳහා ඔවුහු ගවයින් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද මුළු ඉශ්‍රායෙල් උදෙසා පාප පූජාවක් සඳහා ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ගණන අනුව එළුවන් දොළොස් දෙනකු ද ඔප්පු කළහ. 18තවද මෝසෙස්ගේ පොතේ ලියා ඇති පරිදි ඔවුහු යෙරුසලමේ දෙවියන්වහන්සේගේ සේවය සඳහා පූජකයින් ඔවුන්ගේ පන්ති අනුව ද ලෙවීවරුන් ඔවුන්ගේ කණ්ඩායම් අනුව ද තෝරා පත් කළහ.
පාස්කුව
19පිටුවහල් ව සිට ආපසු පැමිණියෝ පළමු මස දාහතර වන දවසේ පාස්කුව පැවැත් වූහ. 20පූජකයෝ හා ලෙවීයයෝ තුමූම පිරිසිදු වූහ. ඔවුන් සියල්ලෝ පවිත්‍ර ව සිටියහ. පිටුවහල් ව සිට ආපසු පැමිණි සියල්ලන් උදෙසාත්, තම සහෝදර පූජකයින් උදෙසාත්, තමන් උදෙසාත් ඔවුහු පාස්කු බැටළු පැටවා මැරූහ. 21පිටුවහල් ව සිට ආපසු පැමිණි ඉශ්‍රායෙල්වරු හා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයන පිණිස, තම විජාතික අසල්වාසීන්ගේ අපවිත්‍ර සිරිත්-විරිත්වලින් වෙන් ව සිටි සියලු ඉශ්‍රායෙල්වරු එයින් කෑහ. 22මෙසේ හත් දවසක් ඔවුහු නුමුහුන් රොටි මංගල්‍යය ප්‍රීතියෙන් සැමරූහ. එසේ කළේ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ කටයුතුවලට සහාය දක්වන පිණිස, අසිරියාවේ රජුගේ ආකල්පය වෙනස් කිරීමෙන් ස්වාමින්වහන්සේ ඔවුන් ප්‍රීතියෙන් පුරවා තිබූ බැවිනි.
දැනට තෝරාගෙන ඇත:
එස්රා 6: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.