එස්රා 6:13-22

එස්රා 6:13-22 SCV

එවිට දාරෙයාවෙෂ් රජු එවූ වචනයට අනුව ගඟ එගොඩ පළාත් ආණ්ඩුකාර තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ හවුල්කරුවන් ද දාරෙයාවෙෂ් රජු විසින් එවන ලද නියෝගය උද්යෝගිමත් ව ඉටු කළහ. එබැවින් යුදෙව් වැඩිහිටියෝ දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත්‍ර සෙකරියාගේත් දිවැස් වැකි පැවසීම යටතේ ගොඩ නගා, සඵල වූහ. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ ආඥාවටත්, කෝරෙෂ්, දාරෙයාවෙෂ් හා අර්තාෂස්තා යන පර්සියානු රජුන්ගේ නියෝගයනටත් අනුව ඔවුහු ඉදිකිරීමේ කටයුතු නිම කළහ. දාරෙයාවෙෂ් රජුගේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දා ගෘහය සාදා සම්පූර්ණ කෙරිණි. ඉන්පසු පූජකයින්, ලෙවීවරුන් හා පිටුවහල් ව සිට ආපසු පැමිණි සෙස්සන් යන ඉශ්‍රායෙල් ජනයා, දෙවියන්වහන්සේගේ ගෘහය කැප කිරීම ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව පැවැත් වූහ. දෙවියන්වහන්සේගේ මේ ගෘහය කැප කිරීම සඳහා ඔවුහු ගවයින් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද මුළු ඉශ්‍රායෙල් උදෙසා පාප පූජාවක් සඳහා ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ගණන අනුව එළුවන් දොළොස් දෙනකු ද ඔප්පු කළහ. තවද මෝසෙස්ගේ පොතේ ලියා ඇති පරිදි ඔවුහු යෙරුසලමේ දෙවියන්වහන්සේගේ සේවය සඳහා පූජකයින් ඔවුන්ගේ පන්ති අනුව ද ලෙවීවරුන් ඔවුන්ගේ කණ්ඩායම් අනුව ද තෝරා පත් කළහ. පිටුවහල් ව සිට ආපසු පැමිණියෝ පළමු මස දාහතර වන දවසේ පාස්කුව පැවැත් වූහ. පූජකයෝ හා ලෙවීයයෝ තුමූම පිරිසිදු වූහ. ඔවුන් සියල්ලෝ පවිත්‍ර ව සිටියහ. පිටුවහල් ව සිට ආපසු පැමිණි සියල්ලන් උදෙසාත්, තම සහෝදර පූජකයින් උදෙසාත්, තමන් උදෙසාත් ඔවුහු පාස්කු බැටළු පැටවා මැරූහ. පිටුවහල් ව සිට ආපසු පැමිණි ඉශ්‍රායෙල්වරු හා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයන පිණිස, තම විජාතික අසල්වාසීන්ගේ අපවිත්‍ර සිරිත්-විරිත්වලින් වෙන් ව සිටි සියලු ඉශ්‍රායෙල්වරු එයින් කෑහ. මෙසේ හත් දවසක් ඔවුහු නුමුහුන් රොටි මංගල්‍යය ප්‍රීතියෙන් සැමරූහ. එසේ කළේ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ කටයුතුවලට සහාය දක්වන පිණිස, අසිරියාවේ රජුගේ ආකල්පය වෙනස් කිරීමෙන් ස්වාමින්වහන්සේ ඔවුන් ප්‍රීතියෙන් පුරවා තිබූ බැවිනි.

මෙයට අදාළ වීඩියෝ

එස්රා 6:13-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය