එස්රා 6:1-12

එස්රා 6:1-12 SCV

එකල දාරෙයාවෙෂ් රජු නියෝගයක් නිකුත් කළේ ය. බබිලෝනියෙහි ලේඛන සංරක්ෂණ කර තබන රාජ්‍ය ලේඛනාගාරයේ සෝදිසියක් කෙරිණි. මේදියා පළාතේ අහ්මෙතා බළකොටුවේ තිබූ ලියවිල්ලක් සම්බ විය. එහි මෙසේ ලියා තිබිණ. දැනගැනීම පිණිසයි: කෝරෙෂ් රජුගේ පළමු වසරේ, කෝරෙෂ් රජු යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහය පිළිබඳ නියෝගයක් නිකුත් කළේ ය: යාග පූජා ඔප්පු කරන ස්ථානයක් හැටියට ගෘහය ඉදි කෙරේවා! එහි අත්තිවාරම් ද සවිමත් කරනු ලැබේවා. එහි උස රියන් හැටක් හා පළල රියන් හැටක් විය යුතු ය. විශාල ගල් පේළි තුනක් හා එක ලී පේළියක් යන වශයෙන් එය සෑදිය යුතු අතර, එම වියදම් දැරිය යුත්තේ රාජකීය භාණ්ඩාගාරයයි. තවද නෙබුකද්නෙසර් විසින් යෙරුසලමේ පිහිටි දේව මාලිගයේ සිට බබිලෝනිය වෙත ගෙන යන ලද දෙවියන්වහන්සේගේ ගෘහයේ රන් හා රිදී භාණ්ඩ ආපසු ගෙන අවුත්, යෙරුසලමෙහි දේව මාලිගයේ ඒවාට නියමිත තැන්වල ආපසු තැබිය යුතු ය; ඒවා දෙවියන්වහන්සේගේ ගෘහයේ තැන්පත් කළ යුතු ව ඇත. එබැවින් දැන් ගඟ එගොඩ පළාතේ ආණ්ඩුකාර තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ගඟ එගොඩ පළාතේ ඔබගේ හවුල්කාර රාජ්‍ය නිලධාරීන් ද එතැනින් ඈත් ව සිටින්න. දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ වැඩ කෙරුණාවේ. යුදෙව් ආණ්ඩුකරු හා යුදෙව් වැඩිහිටියන් දෙවියන්වහන්සේගේ මේ ගෘහය ඊට නිසි බිමේ යළි එය ගොඩ නැගුවා වේ. තවද දෙවියන්වහන්සේගේ මේ ගෘහය ඉදිකිරීමේදී මේ යුදෙව් වැඩිහිටියන් වෙත ඔබ කළ යුතු දෑ ගැන මම ඔබට නියෝග කරමි: මෙම වැඩ නො නැවතී කරන පිණිස මේ මිනිසුන්ගේ වියහියදම් පමා නො කර, සම්පූර්ණයෙන් රාජකීය භාණ්ඩාගාරයෙන්, ගඟ එතෙරින් ලැබෙන බදු ආදායමින් ගෙවිය යුතු ය. ස්වර්ගයේ දෙවියන්වහන්සේට දවන යාග පූජාවනට අවශ්‍ය ගොන් වස්සන්, බැටළුවන් හා බැටළු පැටවුන් ද යෙරුසලමේ පූජකයින් ඉල්ලන තිරිඟු, ලුණු, මිදි යුෂ හා තෙල් ද යන කවර දෙයක් වුව, දවසින් දවස නොවරදවා ම ඔවුන්ට සැපයිය යුතු ය. එසේ කළ යුත්තේ ස්වර්ගයේ දෙවියන්වහන්සේ ප්‍රසන්න වන යාග පූජා ඔප්පු කර, රජුගේ හා ඔහුගේ පුතුන්ගේ ශුභ සිද්ධිය උදෙසා ඔවුන් යාච්ඤා කරන පිණිස ය. තවද මේ නියෝගය කඩ කරන කෙනකු වේ ද, ඔහුගේ ගෙයින් බාල්කයක් එළියට ඇද, ඒ පිට ඔහු උල තැබිය යුතු ය. මේ අපරාධය නිසා ඔහුගේ නිවස සුන්බුන් ගොඩක් කළ යුතු ය. යෙරුසලමේ ඇති දෙවියන්වහන්සේගේ මේ ගෘහය විනාශ කරන්නට හෝ මේ නියෝගය කඩ කරන්නට හෝ තම අත පොවන රජකු හෝ ජනයා හෝ වේ ද, ස්වකීය නාමය එහි වාසය කරවන දෙවියන්වහන්සේ ඔවුන් විනාශ කර දමන සේක්වා! දාරෙයාවෙෂ් වන මම මෙම නියෝගය කළෙමි. එය උද්යෝගයෙන් ඉටු කරනු ලැබේවා!

මෙයට අදාළ වීඩියෝ

එස්රා 6:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය